භික්ෂූන් වහන්සේට 'පොලීසිය ආරක්ෂාව දුන්නේ නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 8 සිකුරාදා - 12:33 GMT
Police in Sri Lanka

දුරකථනය මාර්ගයෙන් සහ පොලිස් ස්ථානයට ගොස් විමලවංශ හිමියන් පොලීසියට පැමිණිලි 16 ක් ඉදිරිපත් කොට තිබෙන බව මානව හිමිකම් සංවිධානය පවසයි

ආරක්ෂාව සපයන මෙන් මොරටුව එගොඩ උයන සුනන්දෝනන්දාරාමයේ විහාරාධිපති හිමියන් දිගින් දිගටම පොලීසියෙන් කළ ඉල්ලීමට නිසි ප්‍රතිචාර දැක්වූයේ නම් එහිමියන්ගේ ජීවිතය බේරා ගත හැකිව තිබුණු බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි.

මැටිගහතැන්නේ විමලවංශ හිමියන් පසුගිය පෙබරවාරි 04 වැනි දින කපා කොටා මරා දමා තිබුණු අතර තමන්ට ආරක්ෂාව සපයන මෙන් ඊට විනාඩි කිහිපයකට කලින් පවා එහිමියන් පොලීසියෙන් ඉල්ලීම් කොට තිබුණු බව එම කොමිසම විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

තමන්ට ඉතා බරපතල ජීවිත තර්ජන එල්ල වී තිබෙන බව පවසමින් දුරකථනය මාර්ගයෙන් සහ පුද්ගලිකවම මොරටුව පොලිස් ස්ථානයට ගොස් විමලවංශ හිමියන් පොලීසියට පැමිණිලි 16 ක් ඉදිරිපත් කොට තිබෙන බව ද මානව හිමිකම් සංවිධානය පවසයි.

ස්ත්‍රී දූෂණ

විමලවංශ හිමියන් ඝාතනය කරන ලද බව සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනා ගේ මළ සිරුරු, ඉන් පැය කිහිපයකට පසුව බණ්ඩාරගම දී හමු වූ බව පොලීසිය පවසයි. ඔවුන්ගේ හිසට වෙඩි තබා මරා දමා තිබිණ.

මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන තිබේ.

ආසියානු මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකා පොලීසිය මහජන පැමිණිලි නොතකා හැරීම කිසිසේත්ම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ.

විශේෂයෙන්ම 42- හැවිරිදි කාන්තාවකට පහර දී දූෂණය කිරීම පිළිබඳව කැලණියේ ප්‍රධාන පෙලේ භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව පොලිස්පතිවරයාට පවා පැමිණිලි කොට තිබියදී තවමත් පොලීසිය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට අපොහොසත් වී ඇති බව නිවේදනයේ සඳහන්.

අදාළ හිමි නම අත් අඩංගුවට ගැනීම වෙනුවට පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා මෙන් ප්‍රදේශයේ පොලීසිය දූෂණයට ලක් වූ කාන්තාවට සහ ඇගේ ඥාතීන්ට බලපෑම් කරමින් සිටින බව ද මානව හිමිකම් සංවිධානය පොලීසියට චෝදනා කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.