බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවට 'පවුම් ලක්ෂ 30 ක ආයුධ විකුණලා'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 18 සඳුදා - 12:28 GMT
Arms on display

මානව හිමිකම් තත්ත්වය පිළිබඳව "අවධානය පළ වී තිබෙන රටක්" ලෙසිනුයි, බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාව විග්‍රහ කරන්නේ

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව දිගින් දිගටම අවධානය පළ කරන බ්‍රිතාන්‍ය ආණ්ඩුව, ඒ අතරවාරයේ ශ්‍රී ලංකාවට අවි ආයුධ විකිණීමට බ්‍රිතාන්‍ය සමාගම්වලට අවසර දී තිබෙන බව අලුත්ම සංඛ්‍යාලේඛණවලින් අනාවරණය වේ.

බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සංඛ්‍යාලේඛණ උපුටා දක්වමින් ලන්ඩනයේ පළවන දි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තාකරණ පරිදි පසුගිය වසරේ මාස තුනක කාලයක් ඇතුලත බ්‍රිතාන්‍ය ආයුධ සමාගම් විසින් ශ්‍රී ලංකාවට විකුණා තිබෙන අවි ආයුධවල වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ 30 කට ආසන්නයි.

මානව හිමිකම් තත්ත්වය පිළිබඳව "අවධානය පළ වී තිබෙන රටක්" ලෙසින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාව විග්‍රහ කරන අතරවාරයේ පිස්තෝල, රයිෆල්, වෙඩි නොවදින ඇඳුම් සහ ෂොට්ගන් තුවක්කු ඇතුළු මෙම අවි ආයුධ ශ්‍රී ලංකාවට විකුණා තිබෙන බව ලන්ඩනයේ පළවන ගාඩියන් පුවත්පත ද වාර්තා කරයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව

විශේෂයෙන්ම පසුගිය දෙසැම්බර් මාසය දක්වා ගතව ගිය මාස තුන ඇතුලත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණයේ නිශේධනීය ප්‍රවණතාවයක් දක්නට ලැබුන බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයේ තක්සේරුවයි.

කෙසේ නමුත් 2008 මුල් භාගයේ සිට 2012 ජුනි මාසය දක්වා බ්‍රිතාන්‍ය ආයුධ සමාගම් විසින් ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය පවුම් මිලියන් 12 ක් වටිනා ආයුධ විකුණා තිබෙන බවයි, දි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත පවසන්නේ.

මේ පිළිබඳව ගාඩියන් පුවත්පත බ්‍රිතාන්‍ය වෙළඳ කටයුතු අමාත්‍යාංශයෙන් කරුණු විමසූ අවස්ථාවේ එහි ප්‍රකාශකයෙක් සඳහන් කොට තිබුනේ, කිසියම් රටකට ආයුධ විකිණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් අදහස් පළ නොකරන බවයි.

කෙසේ නමුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පූර්ණ විමර්ශනයක් කිරීමෙන් අනතුරුව පමණක් එසේ බලපත්‍ර නිකුත් කරන බව ප්‍රකාශකයා අවධාරණය කොට තිබිණ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.