වන්නි ප්‍රදේශයේ ඉඩම් දකුණේ සිංහල වැසියන්ට ලබා දෙන බවට චෝදනා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 2 සෙනසුරාදා - 13:29 GMT

වන්නි ප්‍රදේශයේ දෙමළ පලාත්වල ඉඩම් දකුණේ සිංහල වැසියන්ට ලබාදීම සඳහා යුද හමුදාව මේ දිනවල ඉඩම් කච්චේරි පවත්වන බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.

දෙමල ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිව ශක්ති ආනන්දන් පවසන්නේ දකුණේ සිංහල වැසියන්ට අලුතින් ඉඩම් ලබා දීම සිදුවන්නේ දෙමල වැසියන් පදින්චිව සිටින ප්‍රදේශවල නිසා මේ තත්වය අනාගතයේදී බැරෑරුම් ප්‍රශ්නයක් බවට පත්විය හැකි බවයි.

එසේම මේ නිසා දෙමළ ජාතිකයන්ට ඉන් බලවත් අසාධාරණයක් සිදුවන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

ඉඩම් ලබා දීමට සුදුසු පුද්ගලයන්ගේ නාම ලේඛන සකස් කිරීම මේ දිනවල වවුනියාවේ යුද හමුදා කදවුරකදී සිදුවන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එහෙත් යුද හමුදා ප්‍රකාශක රුවන් වනිගසුරිය පැවසුවේ එසේ ඉඩම් ලබා දීමට යුද හමුදාවට බලතල නැති බවයි.

ඉඩම් සම්බන්ධයෙන් බලතල ඇත්තේ ඉඩම් අමාත්‍යංශයට බව පැවසූ ඔහු එසේ නමුත් අවතැන්වුවකු තම ගමේ, සිය ඉඩමේ පදිංචිවීමට උදව් ඉල්ලා සිටියහොත් ඊට පහසුකම් සැලසීමට හැකි බව කියා සිටියේය.

වවුනියාවට උතුරින් පිහිටි සිංහල ගම්මාන රැසක විසු සිංහල වැසියන් පසුගිය යුද සමයේදී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් අවතැන්වී සිටින බව සඳහන් කළ යුද හමුදා ප්‍රකාශක රුවන් වනිගසුරිය, ඔවුන්ට එම ගම්මානවල පදිංචිවීමට අයිතිවාසිකමක් උරුමයෙන් ලැබී ඇති බව ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.