අතුරුදහන් කරවීම් පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 4 සඳුදා - 12:09 GMT
The panels discussion on Sri Lanka's disappearances

"මොහාන් පීරිස් මහත්තයා අගවිනිසුරු වීම ගැන, නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම රාජපක්ෂ බලයට අරගෙන තිබීම ගැන මම එයාලට කිවුව"

ශ්‍රී ලංකාවේ සිදුවන බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ අවශතාවය ජිනීවා නුවරදී අවධාරණය කෙරිණ.

මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ 22 වැනි සැසිවාරයට සමගාමීව අතුරු සංවාදයක් ලෙසින් කාමර අංක 25 දී පැවැත්වුණු ශ්‍රී ලංකාවේ සිදුවන බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් පිළිබඳ සාකච්ඡාවේදීයි, එම ඉල්ලීම ඉදිරිපත් වී තිබෙන්නේ.

සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් අතුරුදහන් වීමේ වාතාවරණය පිළිබඳව දේශණයක් පැවැත්වූ අතුරුදහන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු බොහෝ පිරිසක් රැස්වීමට සහභාගි වූ නමුත්, ශ්‍රී ලංකා ආණ්ඩුව නියෝජනය කරමින් කිසිවෙකුත් එයට එක්වී නොසිටි බවයි.

නීතියේ ආධිපත්‍යය

විශේෂයෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ විදේශයක දේශපාලන රැකවරණ පතා සිටින බව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ඉදිරියේ කියා සිටි මොහාන් පීරිස් වැනි පුද්ගලයෙකු අගවිනිසුරු පදවිය දරමින් සිටින රටක අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දුන් බව ද ඇය කියා සිටියාය.

"නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම රාජපක්ෂ බලයට අරගෙන තිබීම ගැන මම එයාලට කිවුව," බවයි සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නේ.

අතුරුදහන් වූ මුස්ලිම් තරුණයෙකුගේ මවක්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ අතුරුදහන්වීම් පරීක්ෂා කිරීමේ කමිටුවේ සුන්දරම් මහේන්ද්‍රන් එම සංවාදයේදී අදහස් දැක්වූහ.

මේ අතර මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ විසින් ශ්‍රී ලංකාව පිළිබඳව කරන ලද ප්‍රකාශයට ඇම්නස්ටි ජාත්‍යන්තරය විසින් දක්වන ලද ප්‍රතිචාරය සම්බන්ධ සාකච්ඡාවක් ද මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී එයට සමගාමීව පැවැත්විණ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.