ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ජිනීවා නුවරදී සාකච්ඡාවට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 8 සිකුරාදා - 12:18 GMT
A UNHRC session

ශ්‍රී ලංකාව පිලිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාව වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට තිබෙන නමුත් එය නිළ වශයෙන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්තු 20 වැනිදා

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කරන යෝජනාව ලබන සඳුදා නිළ වශයෙන් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂිතයි.

බ්‍රහස්පතින්දා සවස රාජ්‍යතාන්ත්‍රිකයන් වෙත යොමුකරනු ලැබූ ශ්‍රී ලංකාව සම්බන්ධ එච්ආර්සී 22 යෝජනාවේ කෙටුම්පත පිළිබඳ නිල නොවන සමාලෝචනයක් සිකුරාදා සවස් යාමයේ එක්සත් ජාතීන්ගේ මන්දිරයේ කාමර අංක 21 දී පැවැත්විණ.

අවසාන යෝජනාවේ අන්තර්ගතය සහ නිළ වශයෙන් ඉදිරිපත් කෙරෙන දිනය එම සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කෙරෙනු ඇති බව, සාකච්ඡාවලට සහභාගි වෙමින් ජිනීවා නුවර සිටින ඇම්නස්ටි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව පිලිබඳ පර්යේෂිකා යොලන්ඩා ෆොස්ටර් බීබීසී සංදේශයට කියා සිටියාය.

"ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම දැරිය යුතු බව පෙන්වා දෙන්න මේ යෝජනාව මගින් ජනතාවට අවස්ථාවක් ලැබෙන නිසා මම හිතන්නේ මේක ඉතාමත් ප්‍රයෝජනවත් සහ ශක්තිමත් යෝජනාවක්," බව ඇයගේ අදහසයි.

'ප්‍රමාණවත් නෑ'

"ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම දැරිය යුතු බව පෙන්වා දෙන්න මේ යෝජනාව මගින් ජනතාවට අවස්ථාවක් ලැබෙන නිසා මම හිතන්නේ මේක ඉතාමත් ප්‍රයෝජනවත් සහ ශක්තිමත් යෝජනාවක්"

ඇම්නස්ටි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව පිලිබඳ පර්යේෂිකා යොලන්ඩා ෆොස්ටර්

උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ඉදිරිපත් කළ ජාතික ක්‍රියාකාරී සැලසුම මගින් උගත් පාඩම් කොමිසමේ බොහෝ වැදගත් නිර්දේශ නොසලකා හැර තිබෙන බව පවසන එම යෝජනාව, මානව හිමිකම් ක්‍රියාධරයන්ට මේ දක්වාම එල්ල වෙමින් තිබෙන ප්‍රහාර සහ තර්ජන පිළිබඳව මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන තර්ජන පිළිබඳව ද ප්‍රබල අවධානය පළ කරයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව මහ කොමසාරිස් නවී පිල්ලේ ගේ වාර්තාව අගය කරමින්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් අලුත් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට මහ කොමසාරිස්වරිය කරන නිර්දේශය "අවධානයට ලක්වූ බව" සඳහන් කිරීම පසුගිය වසරේ යෝජනාවෙන් අනතුරුව වැදගත් ඉදිරි පියවරක් බවයි, යොලන්ඩා ෆොස්ටර් පවසන්නේ.

මහ කොමසාරිස්වරියගේ වාර්තාව වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට තිබෙන නමුත් එය නිළ වශයෙන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ මාර්තු 20 වැනිදා.

එක්සත් ජාතීන් ඉදිරිපත් කරන යෝජනා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ යුතු බවත්, එම යෝජනා ප්‍රයෝගික වශයෙන් ක්‍රියාත්මක කෙරෙන්නේ ද යන්න සොයා බැලිය යුතු බවත් යෝජනාවේ සඳහන්.

ඉන්දියාවේ ස්ථාවරය

එමෙන්ම මානව හිමිකම්, අධිකරණයේ ස්වාධීනත්වය, භාෂණයේ නිදහස, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම ඇතුළු අදාළ විෂයයන් සඳහා එක්සත් ජාතීන් විසින් පත් කොට තිබෙන විශේෂ නියෝජිතයන් සහ කණ්ඩායම් සමඟ ශ්‍රී ලංකා ආණ්ඩුව සහයෝගයෙන් කටයුතු කළ යුතු බව එහි ඇතුලත් තවත් ප්‍රධාන යෝජනාවක්.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පරීක්ෂා කිරීම පිණිස ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවන මෙන් තමන් කළ ඉල්ලීම ඉටුවී නොමැති බැවින් මේ යෝජනාව ප්‍රමාණවත් නොමැති බව ඇම්නස්ටි ජාත්‍යන්තරයේ අදහස බව ද යොලන්ඩා ෆොස්ටර් පවසන්නීය.

කෙටුම්පත සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය තවමත් පැහැදිලි නැති බව පවසන ඇය, බොහෝ විට ඒ පිලිබඳ ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාව දක්වාම ඉන්දියාව සිය ස්ථාවරය ප්‍රසිද්ධියේ හෙළි නොකිරීමට ඉඩ තිබෙන බව ද සංදේශයට කියා සිටියාය.

කෙසේ නමුත්, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය ඇතුළු ශ්‍රී ලංකාවේ පවතින සැබෑ වාතාවරණය නොදැන සිටි බොහෝ රටවල් දැන් ඒ පිළිබඳව අවධානය පළ කරමින් සිටින තත්ත්වයක් ජිනීවා නුවරදී දැකගන්නට ලැබෙන බව පවසන ඇය, මේ තත්ත්වය යටතේ සිකුරාදා සවස පැවැත්වෙන නිළ නොවන සමාලෝචනයෙන් අනතුරුව කෙටුම්පත කුමන ස්වරූපයක් ගනු ඇති දැයි තීරණය වනු ඇති බව ද පවසන්නීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.