යෝජනාව ගැන ඇමෙරිකාව සමඟ සාකච්ඡා කරන්නේ නෑ - ආණ්ඩුව

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 10 ඉරිදා - 11:45 GMT
The informal meeting on Sri Lanka in Geneva

රාජ්‍යතාන්ත්‍රිකයන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් දෙසියයක් පමණ සහභාගි වී සාකච්ඡාවේදී ඉන්දියාව කිසිදු අදහසක් නොදැක්වීම විශේෂත්වයක් (සිකුරාදා පැවැත්වුන නිළ නොවන සාකච්ඡාවේ අවස්ථාවක්)

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් ගණනාවක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් වන යෝජනාව සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ සාකච්ඡා නොකරන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති රවිනාථ ආර්යසිංහ ඒ බව ප්‍රකාශ කළේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරපත් කොට තිබෙන යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මන්දිරයේ පැවති නිල නොවන සාකච්ඡාවේදී ප්‍රකාශයක් කරමින්.

ලොව සියලුම කලාප නියෝජනය කරමින් දෙසියයකට ආසන්න රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියහ.

එහිදී මුලින්ම සභාව ඇමතූ එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපතිනි එයිලීන් චැම්බලෙන් ඩොනහෝ, මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ එකඟතාවයකට පැමිණීමට එක්සත් ජනපදය ඉහලම මට්ටමෙන් උත්සාහ කළ නමුත්, ශ්‍රී ලංකාව එයට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බව කියා සිටියාය.

පාකිස්තානය විරුද්ධයි, ඉන්දියාව නිහඬයි

The informal meeting on Sri Lanka in Geneva

මානව හිමිකම් මණ්ඩලය සාමාජික රටවල් 47 කින් සමන්විත වන අතර, මේ වසරේ එහි සාමාජිකයන් නොවන රුසියාව සහ කියුබාවට ඡන්දය දීමේ අවස්ථාව අහිමියි

ඉන් අනතුරුව අදහස් දැක්වූ තානාපති ආර්යසිංහ, මානව හිමිකම් මණ්ඩලය පසුගිය වසරේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ 19/2 යෝජනාව ශ්‍රී ලංකාව පිලි නොගන්නා බව අවධාරණය කළේය.

එවන් වාතාවරණයක් තුල එක්සත් ජනපදය මේ වසරේ ඉදිරිපත් කොට තිබෙන "ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීමේ" අංක එච්ආර්සී 22 යෝජනා කෙටුම්පත 2012 වසරේ සම්මත වූ 19/2 යෝජනාව පවා බරපතල වෙනසකට භාජනය කිරීමක් බව පෙන්වා දුන් තානාපතිවරයා, එම යෝජනාව සම්මත වුවහොත් එය ශ්‍රී ලංකාවට පමණක් නොව අනාගතයේදී අනෙක් රටවලටද අහිතකර බලපෑමක් එල්ල කළ හැකි පියවරක් විය හැකි බවට ද අනතුරු ඇඟවීය.

දශක ගණනාවක යුද්ධයෙන් අනතුරුව රට යලි ගොඩ නැඟීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර කිසිවක් අදාළ කෙටුම්පතට ඇතුලත් නොවන බව තානාපතිවරයා අවධාරණය කළ තවත් කරුණක්.

මේ තත්ත්වය යටතේ එච්ආර්සී 22 යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකාව සූදානම් නැති බවයි, ඔහු කියා සිටියේ.

ඉන් අනතුරුව කෙටුම්පතේ අන්තර්ගතය සම්බන්ධයෙන් සාකච්ඡාව ආරම්භ වූ අවස්ථාවේ අදහස් දැක්වූ පාකිස්තාන නියෝජිතයා කෙටුම්පතේ යෝජනා ගණනාවක්ම ඉවත් කරන මෙන් ඉල්ලා සිටියේය.

රුසියාවට, කියුබාවට ඡන්ද බලය නෑ

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දැඩිවම පෙනී සිටියේ පාකිස්තානය බවයි, මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය නියෝජනය කරමින් එයට එක්ව සුනන්ද දේශප්‍රිය බීබීසී සංදේශයට කියා සිටියේ.

බොහෝ අවස්ථාවල චීනය ද පාකිස්තානයේ අදහස අනුමත කළ බව ද ඔහු පැවසීය.

කෙසේ නමුත්, යෝජනා ඉවත් කරන මෙන් කළ ඉල්ලීමට බ්‍රිතාන්‍යය, ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් දැඩි විරෝධය පළ කොට තිබේ.

සාකච්ඡාවට වරින් වර මැදිහත් වූ රුසියාව, කියුබාව සහ වෙනිසියුලාව ද ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් අදහස් දක්වා තිබේ.

මානව හිමිකම් ක්ෂත්‍රයේ ශ්‍රී ලංකාව මෙතෙක් දක්වා තිබෙන ප්‍රගතිය ඇතුලත් නොවීම එක්සත් ජනපද යෝජනාවේ බරපතල අඩුපාඩුවක් බව ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේ අදහස වූ බව ද සුනන්ද දේශප්‍රිය සඳහන් කළේය.

'නීතිමය බලපෑමක් නෑ'

කෙසේ නමුත් රාජ්‍යතාන්ත්‍රිකයන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් දෙසියයක් පමණ සහභාගි වී සිටි එම සාකච්ඡාවේදී ඉන්දියාව කිසිදු අදහසක් නොදැක්වීම විශේෂත්වයක්.

මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය සාමාජික රටවල් 47 කින් සමන්විත වන අතර, මේ වසරේ එහි සාමාජිකයන් නොවන රුසියාව සහ කියුබාවට ඡන්දය දීමේ අවස්ථාව අහිමියි.

මානව හිමිකම් පිලිබඳ මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත කළත්, එමගින් ශ්‍රී ලංකාවට කිසිදු නීතිමය බලපෑමක් එල්ල කළ නොහැකි බව සංදේශය සමඟ කියා සිටි සුනන්ද දේශප්‍රිය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස විශේෂ නියෝජිතයකු පත් කිරීමට පමණක් එමගින් එක්සත් ජාතීන්ට බලය පැවරීමට ඉඩ තිබෙන බව ද සඳහන් කළේය.

"ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීමේ" අංක එච්ආර්සී 22 යෝජනා කෙටුම්පත මාර්තු 11 සඳුදා හෝ අඟහරුවාදා මානව හිමිකම් මණ්ඩලයට නිල වශයෙන් ඉදිරිපත් කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි.

මේ අතර "යුද්ධයෙන් අනතුරුව ජීවිතයට මුහුණදීම" මැයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ අතුරු සාකච්ඡාවක් ද එක්සත් ජාතීන්ගේ මන්දිරයේ කාමර අංක 24 දී හෙට සඳුදා සවස් යාමයේ පැවැත්වීමට නියමිතයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.