සහජීවනය උදෙසා හලාල් ලාංඡනය ඉවත් කළා - උලමා සභාව

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 11 සඳුදා - 10:58 GMT
A protest rally against halal products in Maharagama

හලාල් ලාංඡනය නිකුත් කිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් බොදු බල සේනා සංවිධානය සංවිධානය විශාල උද්ඝෝෂණයක් දියත් කළේය

බෞද්ධ භික්ෂූන් වහන්සේ සමඟද සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සහජීවනය පවත්වා ගැනීමේ අරමුණින් පාරිභෝගික භාණ්ඩවල හලාල් ලාංඡනය ඉවත් කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව පවසයි.

ලංකා වාණිජ මණ්ඩලයේ මෙහෙයවීමෙන් උලමා සභාව සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ එක්ව කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීයි, උලමා සභාව ඒ බව කියා සිටියේ.

සිංහල සහ මුස්ලිම් ජාතිකයන් අතර කලක් මුළුල්ලේ පවතින සමගිය පලුදු නොවන ආකාරයේ තීන්දුවක් ගැනීම පිණිස නායක ස්වාමීන් වහන්සේලා පිරිසක් මුස්ලිම් නායකයන සමඟ සාකච්ඡා කළ බව එහිදී ප්‍රකාශයක් කළ ආචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ.

මෙවැනි ගැටළු විසඳා ගැනීමේ හොඳම මාර්ගය "අතින් පයින් නොව," බුද්ධිමත්ව සාකච්ඡා මාර්ගයෙන් බව ද එහිමියෝ පැවසූහ.

ජමියතුල් උලමා සභාවේ හලාල් අංශයේ ප්‍රධානී මුර්ශික් මුලාෆර් අදහස් දක්වමින් කියා සිටියේ හලාල් සහතිකය නිකුත් කිරීමේදී ගාස්තුවක් අය කලේ ඒ සඳහා වැය වන වියදම පියවා ගැනීම සඳහා බවයි.

කෙසේ නමුත් එසේ ගාස්තුවක් අය කිරීමත් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සහජීවනයට හානි කරන්නක් බවට මතයක් පවතින්නේ නම් එම ගාස්තුව පවා ඉවත් කර ගැනීමට තමන් සූදානම් බව ද ඔහු පැවසීය.

දෙපාර්ශවය අතර ඇතිකරගත් මේ එකඟත්වය කිසිදු පාර්ශවයක ජයක් හෝ පරාජයක් නොව "රටේ ජයග්‍රහණයක්" බවයි, බෙල්ලන්විල විමලරතන හිමියන් අවධාරණය කරන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.