ශ්‍රී ලංකාවේ සර්ව වාරික සමාලෝචනය ඒකමතිකව සම්මතයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 15 සිකුරාදා - 11:29 GMT
UNHRC

යුද්ධයෙන් අනතුරුව සංහිඳියාව වෙනුවෙන් ගෙන තිබෙන පියවර බොහෝ රටවල අගය කිරීමට ලක් වී තිබෙන බව ආණ්ඩුව පවසයි

ශ්‍රී ලංකාව සම්බන්ධ සර්ව වාරික සමාලෝචනය (UPR) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරන ලදී.

ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ ගේ අදහස් දැක්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව සංවිධාන ගණනාවක්ම කරුණු දැක්වීය.

එම කරුණු දැක්වීම් අවසානයේ සර්ව වාරික සමාලෝචන වාර්තාව සම්බන්ධයෙන් කිසිදු හෝ විරෝධයක් තිබෙන්නේ දැයි කළ විමසීමට කිසිදු ප්‍රතිචාරයක් පළ නොවූයෙන්, එය ඒකමතිකව සම්මත වූ බව සභාවේ සභාපතිවරයා නිවේදනය කළේය.

රැස්වීම ආරම්භයේදී සහ අවසානයේදී සභාව ඇමතූ අමාත්‍ය සමරසිංහ අවධාරණය කළේ, යුද්ධයෙන් අනතුරුව සංහිඳියාව සහ දිගු කාලීන සාමය වෙනුවෙන් ආණ්ඩුව ගෙන තිබෙන පියවර බොහෝ රටවල අගය කිරීමට ලක් වී තිබෙන බවයි.

බොදු බල සේනා

මානව හිමිකම් වාතාවරණය ජිනීවා නුවරදී දැඩි දෝෂ දර්ශනයට

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය ජිනීවා නුවරදී දැඩි දෝෂ දර්ශනයට ලක්වේ.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ දිගින් දිගටම සිදුවෙමින් තිබෙන මානව හිමිකම උල්ලංඝනයන් සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කරන මානව හිමිකම් සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන, එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලද කිසිදු බරපතල අපරාධයක් සඳහන් නොකිරීම අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක් විය.

එල්ටීටීඊ ය විසින් කරන ලද බව පැවසෙන බරපතල අපරාධ ගණනාවක් පිළිබඳව සවිස්තරව සඳහන් කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ඉතා යහපත් වාතාවරණයක් පවතින්නේ යයි තමන් නොපවසන නමුත්, සමබරව සහ කරුණු මත පදනම්ව එම විවේචන එල්ල විය යුතු බව ආණ්ඩුවේ ස්ථාවරය බව ද කියා සිටියේය.

ආගමික නිදහස සහ විරුද්ධ මත දැරීමේ අයිතියට බරපතල බාධා එල්ල වී තිබෙන බව ලෝක ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය සහ ජුබිලි ව්‍යාපාරය වෙනුවෙන් කරුණු දැක්වූ ප්‍රකාශකයා ශ්‍රී ලංකාවට බරපතල චෝදනාවක් එල්ල කළේය.

කතෝලික සහ මුස්ලිම් දේවස්ථානවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල වන අතරවාරයේ ආගමික සුලුතරයට හිරිහැර කරමින් සිටින බවට ඔහු බොදු බල සේනා සංවිධානයට චෝදනා කළේය.

දෝෂාභියෝගය සහ අධිකරණයේ ස්වාධීනත්වය

එම චෝදනාවට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ, සියලු ආගම් ඇදහීම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් සහතික කොට තිබෙන බව පෙන්වා දුන්නේය.

Bodu Bala Sena activists

ආගමික සුලුතරයන්ට හිරිහැර කරමින් සිටින බවට ජිනීවා නුවරදී බොදු බල සේනා සංවිධානයට චෝදනා එල්ල විය

එමෙන්ම ආගමික සිද්ධස්තානවලට එල්ල වන ප්‍රහාර ශ්‍රී ලංකා ආණ්ඩුව අනුමත නොකරන බව ද අමාත්‍යවරයා පැවසීය.

හමුදාවට එරෙහිව එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වීම පමණක් නොව හමුදාවේ පරීක්ෂණ මණ්ඩලයක් විසින්ම එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම මානව හිමිකම් ක්‍රියාධරයන් විසින් එක්සත් ජාතීන්ගේ අවධානයට ලක් කෙරුණු තවත් කරුණක්.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් ගැන පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියාදාමයක් නොමැති වීම, මානව හිමිකම් ක්‍රියාධරයන්ට සහ මාධ්‍යවේදීන්ට නිසි ආරක්ෂාවක් නොමැති වීම, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට වවුනියාවේ සිට කොළඹ බලා ඒමට අවසර නොදීම, යාපනයේ ශිෂ්‍යයන් අත් අඩංගුවට ගැනීම, සිවිල් ජන ජීවිතයට හමුදාව අත පෙවීම වහාම නතර කිරීමේ අවශ්‍යතාවය සහ උගත් පාඩම් කොමිසමේ නිර්දේශවලින් ඉතාම සුළු කොටසක් පමණක් ක්‍රියාවට නැඟීම යන කරුණු ද එම රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ අවධානයට ලක් කෙරුණු මාතෘකාවන්.

හැඬු කඳුලෙන්

Sri Lanka army

හමුදාවේ පරීක්ෂණ මණ්ඩලයක් විසින්ම හමුදාවට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කිරීම ද මානව හිමිකම් මණ්ඩලයේ අවධානයට ලක් කෙරිණ

අධිකරණයේ ස්වාධීනත්වයට අත පෙවීම සහ විශේෂයෙන්ම දෝෂාභියෝග ක්‍රියාදාමයක් මඟින් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කිරීම සහ නීතියේ ආධිපත්‍යය පිරිහීම පිළිබඳව ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ කොමිසම බරපතල අවධානය පළ කළේය.

වසරක් ඇතුලත ළමා අපචාර 700 කට අධික ප්‍රමාණයක් වාර්තාවීම මෙන්ම සමහර අපචාරවලට ආණ්ඩුවේම දේශපාලකයන්ට චෝදනා එල්ල වීම ද එහිදී අවධානයට ලක්විය.

ඇම්නස්ටි ජාත්‍යන්තරය නියෝජනය කරමින් හැඬු කඳුලෙන් යුතුව කරුණු දැක්වූ ඝාතනයට ලක්වූ වෛද්‍ය ශිෂ්‍ය රජීහර් මනෝහරන් ගේ පියා, වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන්, සිය පුතුගේ ඝාතනය සම්බන්ධය පරීක්ෂණවල වසර හතක් මුළුල්ලේ කිසිදු ප්‍රගතියක් නොමැති වීම පිළිබඳව සභාවට කරුණු දැක්වීය.

එහෙත් ත්‍රිකුණාමලයේ ශිෂ්‍යයන් පස් දෙනා ඝාතනය කිරීමේ සිදුවීම පිලිබඳ අධිකරණ විමර්ශනයක් පැවැත්වෙමින් තිබෙන බව පවසන මානව හිමිකම් පිලිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විශේෂ නියෝජිත අමාත්‍ය මහින්ද සමරසිංහ, මානව හිමිකම් ක්ෂේත්‍රයේ මතුවී තිබෙන ගැටළු විසඳීම පිණිස ශ්‍රී ලංකාවට තවත් කාලය අවශ්‍ය බව යලිත් වරක් සඳහන් කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.