දෝෂාභියෝග විමර්ශනය කල් දැමීමේ උත්සාහයක් - ජගත් නීතිවේදීහු

CJ Shirani Bandaranayake
Image caption ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය යලි පදවියේ ස්ථාපිත කළ යුතු බව IBAHRI ආයතනය කියයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අලුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කරන තුරු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධ අධිකරණ විමර්ශනය කල් දැමීමේ උත්සාහයක් පිළිබඳව බරපතල අවධානය පලවී තිබෙන බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය පවසයි.

එසේ කල් දැමීම මගින් දෝෂාභියෝගය නීතිවිරෝධී බවට අභියාචනාධිකරණය ලබා දී තිබෙන තීන්දුව අවලංගු කර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබිය හැකි බව ද ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය (IBAHRI ) ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම දෝෂාභියෝග ක්‍රියාවලියේදී අගවිනිසුරුවරියට එරෙහිව ප්‍රධානම සාක්ෂිකාරිය වූ විනිසුරු ශිරාණි තිලකවර්ධන එම විභාගයට සහභාගි වීම පමණක් නොව, විනිසුරු මඬුල්ලේ සභාපති පදවියද දැරීම අවධානයට ලක් වී ඇති බවයි, IBAHRI ආයතනය පවසන්නේ.

'තත්‍යමාන අගවිනිසුරු'

විනිසුරු තිලකවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඬුල්ල අදාළ අධිකරණ විමර්ශනය ජුනි 11 වැනිදා දක්වා කල් දමා ඇති අතර, එම විභාගය මේ වසරේ අගභාගය හෝ ඇතැම්විට ලබන වසර දක්වාම කල් දැමීමට ද ඉඩ තිබෙන බව IBAHRI ආයතනයේ ප්‍රකාශක සදාකත් කාද්රි බැරිස්ටර්වරයා බීබීසී සංදේශයට පැවසීය.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ, "නීතිවිරෝධී" දෝෂාභියෝගය මගින් ශ්‍රී ලංකාව ව්‍යවස්ථානුකූල අර්බුදයකට ඇද දමා තිබෙන බව නිගමණය කරමින් IBAHRI ආයතනය පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළ වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

Image caption සදාකත් කාද්රි බැරිස්ටර්වරයා මොහාන් පීරිස් අගවිනිසුරුවරයාගේ භූමිකාව විග්‍රහ කළේ "තත්‍යමාන අගවිනිසුරුවරයා" ලෙසින්

තත්ත්වය පිළිබඳව විමසා බැලීම පිණිස ජගත් නීතිවේදීන්ගේ සංගමයේ දූත පිරිසකට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට වීසා බලපත් ලබාදීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විනිශ්චයකරුවන්, නීතිවේදීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සමඟ දුරකථනය සහ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවීමෙන් අනතුරුවයි, වාර්තාව සකස් කොට තිබෙන්නේ.

"නීතිවිරෝධී" දෝෂාභියෝගය මඟින් පදවියෙන් පහ කරන ලද ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය යලි පදවියේ ස්ථාපිත කිරීම, විනිශ්චයකරුවන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම සහ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීම එම වාර්තාවේ ප්‍රධානම නිර්දේශයන්.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ප්‍රථම සිය වාර්තාව හදාරන මෙන් IBAHRI ආයතනය පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි.

සදාකත් කාද්රි බැරිස්ටර්වරයා මොහාන් පීරිස් විග්‍රහ කළේ "තත්‍යමාන අගවිනිසුරුවරයා" ලෙසින්.

IBAHRI ආයතනය මොහාන් පීරිස් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගවිනිසුරුවරයා ලෙසින් පිළි නොගන්නේ දැයි සංදේශය ඔහුගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, ඔහු නීත්‍යානුකූලව පදවියේ දිවුරුම් දී ඇති බැවින් එහි නීත්‍යානුකූලභාවය පිලිබඳ ගැටලුවක් නැති බවයි.

එහෙත් අනෙක් අතට ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහකිරීම නීතිවිරෝධී බව අධිකරණය විසින් තීන්දු කොට ඇති බැවින්, ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරුන් දෙදෙනකු සිටින්නේ කෙලෙසදැයි IBAHRI ආයතනය ප්‍රශ්න කරයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් විමසීම පිණිස සංදේශය අගවිනිසුරු මොහාන් පීරිස් ඇමතූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, විනිශ්චයකරුවන් ජනමාධ්‍යවලට අදහස් දැක්වීම නුසුදුසු බව සම්ප්‍රදායයක් වශයෙන් සියලු විනිශ්චයකරුවන්ගේ ප්‍රතිපත්තිය බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර