රාවණා බලය සංවිධානය ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක

තම විරෝධය නොතකා ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහහාගිවන ක්‍රීඩකයන්ට කුණු බිත්තර ප්‍රහාර වලට මුහුණ දීමට සිදුවිය හැකි බවට බොදු බල සේනා සංවිධානය අනතුරු අඟවද්දී රාවණා බලය සංවිධානය විසින් අද (බදාදා) ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් පවත්වන ලදී.

තමිල්නාඩුවෙන් එල්ලවුණු විරෝධතා ‍නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වීම හෙලා දකින බව එම සංවිධානය විරෝධතාවේදී අවධාරණය කළේය.

ඉන්දීය රජය දිගින් දිගටම ශ්‍රී ලංකාවට එරෙහිව ද්‍රෝහී ක්‍රියා සිදු කරන බව පැවසූ එම සංවිධානයේ කැඳවුම්කරු ඉත්තැකන්දේ සද්ධාතිස්ස හිමියෝ, එවන් පසුබිමක ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමැතිය දීම තුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ද දේශ ද්‍රෝහී ක්‍රියාවක් සිදුකොට ඇතැයි පැවසූහ.