උදයන් පුවත් පතට තවත් ප්‍රහාරයක්

කිලිනොච්චියේ පිහිටි උදයන් පුවත් පතේ බෙදාහැරීමේ කාර්යාලයට කඩා වැදුණු පිරිසක් එහි කාර්ය මණ්ඩලයට පහරදීමෙන් හතර දෙනකු තුවාල ලැබූ අතර, බරපතල ලෙස තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගතකොට තිබේ.

ගොඩනැගිල්ලට සහ වාහන වලටද අලාභ හානි සිදු කොට තිබේ.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ දැඩි කනස්සල්ල පල කොට සිටී.

ඉකුත් මාස කිහිපය තුල උදයන් පුවත් පතේ කාර්ය මණ්ඩලය ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවේ අලුත්ම සිද්ධිය මෙය බවයි දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී, සිවිල් ඇඳුමින් සැරසුන පොලීස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන්ගේ පහරදීම් වලට ලක්වූ පුවත් පතේ කර්තෘ ටී. ප්‍රේමනාත් රෝහල් ගත කිරීමට සිදු වු බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

ඉකුත් ජනවාරි මාසයේදී වෙල්වෙටිතුරෙයි ප්‍රදේශයේ පුවත් පත බෙදා හරිමින් සිටි, උදයන් පුවත් පතේ සේවකයකුට ආයුධ සන්නද්ධ හතර දෙනකු විසින් පහර දී ඔහුගේ යතුරු පැදියට ගිනි තැබූ බවත් දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

අතක් කැඩී ගොස් එම සේවකයා පසුව රෝහල් ගත කරනු ලැබූ බව පවසන දෙමළ ජාතික සන්ධානය ඉහත සඳහන් කළ කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත් අඩංගුවට ගෙන නැති බවත් සඳහන් කරයි.

පසුගිය ඉරීදා දෙමල ජාතික සන්ධානයේ කිලිනොච්චි කාර්යාලයේ පැවති රැස්වීමකට පනස් දෙනකුට වැඩි පිරිසක් විසින් පහරදීමෙන් දහ තුන් දෙනකු තුවාල ලැබූ බව පවසන දෙමළ ජාතික සන්ධානය එම ගොඩනැගිල්ලට බරපතල හානි සිදුවූ බවත් ප්‍රකාශ කරයි.

එහෙත් එම පහරදීම වීඩියෝ දර්ශනවල දකින්නට ඇති බවත් එම අවස්ථාවේ පොලීසිය ද සිටි නමුත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු හෝ අත් අඩංගුවට ගෙන නැති බවයි සන්ධානය පැවසුවේ.