'ෆැෂන් බග්' සමථය බලපෑමක් -අධිකරණ ඇමති

rauf hakeem

සුළු ජාතිකයින් ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග රජය හිතා මතාම පැහැර හරින්නේ නම් මීලගට ගත යුතු පියවර සලකා බලන බව අධිකරණ ඇමති රවූෆ් හකීම් ප්‍රකාශ කළේය.

මුල් පෙළේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට පහර දී අලාභ හානි සිදු කළ බවට චෝදනා ලබන බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස නිදහස් කර යැවීමේ නීත්‍යනුකුල භාවය අධිකරණ අමාත්‍යවරයා ප්‍රශ්න කොට සිටියේය

පිළියන්දල 'ෆැෂන් බග්' ආයතනයට ප්‍රචණ්ඩ ප්‍රහාර එල්ල කළ සැකකරුවන් පැය විසි හතරක් යන්නට මත්තෙන් සිද්ධිය සමථයට පත් කළ වග පවසා නිදහස් කිරීම අධිකරණ ඇමතිවරයා වන තමන්ට එකඟ විය නොහැකි බවයි රවූෆ් හකීම් අමාත්‍යවරයා සංදේශයට කියා සිටියේ.

' ෆැෂන් බග්' ආයතනයේ හිමිකරු සමග තමන් කථා කළ බව පැවසු අමාත්‍ය වරයා 'සමථයට පත්වීම' බලපෑම් නිසා සිදුවූයේ යැයි තමනට පිළිගත හැකි ආකාරයෙන් හැඟී ගිය බව සඳහන් කළේය.

නඩු මගට ගියහොත් තව දුරටත් වෙළෙඳ කටයුතු වල නිරත වීමේ අපහසුතාවක් ඇති වේය යන බියෙන් ව්‍යාපාරිකයා සමථයකට එකඟ වී ඇතත් නීතියේ ආධිපත්‍ය මෙමගින් අභියෝගයට ලක්වී ඇති බවයි ඇමති වරයා පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් ඉදිරියටත් රජය තුල සිටිමින් මුස්ලිම් ජනතාව මුහුණ දී තිබෙන දී තිබෙන ගැටළු නිරාකරණය කිරීමට පියවර ගන්නා බවයි රවූෆ් හකීම් ඇමති වරයා කියා සිටියේ.