ක්‍රිකට් නිලවරණයට අධිකරණයේ අනුමැතිය

Sri Lanka Cricket logo
Image caption සභාපති උපාලි ධර්මදාස ඇතුළු අපේක්ෂකයන් තිදෙනාගේම අයදුම්පත් අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුව, නව සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස තෝරා පත් කරගෙන තිබේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරි මඬුල්ලක් තෝරා ගැනීමේ නිලවරණය නියමිත පරිදි පැවැත්වීමට අධිකරණයේ අනුමැතිය පළ විය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණය අත් හිටුවන්නයි ඉල්ලා තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කොට තිබුණු පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග නියමිත පරිදි නිලවරණය පැවැත්වීමට අවස්ථාව සැලසුණු බවයි, ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීතිවේදීන් පවසන්නේ.

ආයතනයේ සභාපති ධූරයට තරඟ වැදීම පිණිස තමා ඉදිරිපත් කළ අයදුම්පත්‍රය "අත්තනෝමතික" ලෙසින් ප්‍රතික්ෂේප කළ බවට ක්‍රීඩා අමාත්‍යවරයාට චෝදනා කරමින් සුමතිපාල මන්ත්‍රීවරයා විසින් එම පෙත්සම ඉදිරිපත් කොට තිබිණ.

එවැනි නාම යෝජනා භාර ගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ බලතල ක්‍රීඩා අමාත්‍යවරයා සතු බවයි, අධිකරණයේ නිගමණය වූයේ.

කෙසේ වෙතත් එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ නීතිවේදීහු සංදේශයට පැවසූහ.

සභාපති පදවියට තරඟ වැදීමට බලාපොරොත්තු වූ වත්මන් සභාපති උපාලි ධර්මදාස ඇතුළු අපේක්ෂකයන් තිදෙනාගේම අයදුම්පත් අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුව, ක්‍රිකට් ආයතනයේ විධායක මණ්ඩලය විසින් නව සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස තෝරා පත් කරගෙන තිබේ.

මේ අතර නිශාන්ත රණතුංග යලිත් වරක් ක්‍රිකට් ආයතනයේ ලේකම් පදවියට පත් කිරීම වළක්වමින් ගල්කිස්ස දිස්ත්‍රික් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇති බව නිවුස් ෆස්ට් නාලිකාව වාර්තා කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර