රජයේ වගකීම් ඉටුවී නැහැ - සම්බන්ධන්

රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් නීතිය හා සදාචාරය ස්ථාපනය කිරීමේ අත්‍යන්ත හා ප්‍රමුඛ වගකීම රජය නිසියාකාරව ඉටු කර නැතැයි පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශයක් කළ දමිල ජාතික සන්ධානයේ (TNA) නායක ආර්. සම්බන්ධන් චෝදනා කරයි.

ප්‍රචණ්ඩකාරී සහ කුරිරු ක්‍රියා

මුස්ලිම් ජනතාව මුහුණදී සිටින තර්ජන පිලිබඳ විශේෂ ප්‍රකාශයක් කළ TNA නායකයා, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මුස්ලිම් ජනයාට එරෙහිව සිදු කරන ලද ප්‍රචණ්ඩකාරී සහ කුරිරු ක්‍රියා සදාකාළිකව ලජ්ජාවන ආකාරයේ ක්‍රියාවන් බවද ප්‍රකාශ කරයි.

හිරිහැර සහ අඩත්තේට්ටම්

"අද එම ජන කොටසට එරෙහිව ද්වේෂය මුදා හැරීමේ සැහැසි ක්‍රියාකාරකමක් මේ රටේ ක්‍රියාත්මක වෙමින් පවතියි" යනුවෙන් පැවැසු සම්බන්ධන් මන්ත්‍රීවරයා, පසුගිය මාස කීපය තුල මුස්ලිම් ස්ත්‍රීන් මහ දවල් නන්නාඳුනන පුද්ගලයින්ගේ හිරිහැර සහ අඩත්තේට්ටම් වලට ඉලක්ක වූ බවද ප්‍රකාශ කර සිටී.

පක්ෂග්‍රාහී

"රට වැසියන් විෂයයෙහි පක්ෂග්‍රාහීව කටයුතු නොකරන මෙන්ද, ව්‍යවස්ථාවෙන් ඔවුනට අයත් කර දී ඇති වගකීම් එලෙසින්ම ඉටු කරන මෙන්ද, මුස්ලිම්වරුන් මෙන්ම රටේ සියලුම රටවැසියන්ට සමාන රැකවරණ ලබා දෙන මෙන්ද අප රජයෙන් ඉල්ලා සිටිමු" යැයිද, පැවැසූ දමිල ජාතික සන්ධානයේ (TNA) නායක ආර්. සම්බන්ධන්, රජය ඉටු කළ යුතු වගකීම් දැරීම, යුක්තිය පසිඳලීම අව්‍යාජ ප්‍රතිසන්ධානය සඳහා ක්‍රියා කිරීම ආදී විෂයයන්හි තම ඉල්ලීම්වලට ජාත්‍යන්තර ප්‍රජාව සවන් දිය යුතු බවද අවධාරණය කර සිටියි.