තමිල්නාඩු නළු නිළියන්ට විරෝධය පළ කිරීමේ සත්‍යග්‍රහයක්

  • 2013 අප්‍රේල් 10

ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන තමිල්නාඩු නළු නිළියන්ට විරෝධය පළ කිරීමේ සත්‍යග්‍රහයක් දියත් කිරීමට කලාකරුවන් තීන්දු කොට ඇතැයි ප්‍රවීන නිළි, පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනි ෆොන්සේකා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සහ විද්වතුන්ද සත්‍යග්‍රහයට එක් වන බව ඇය ප්‍රකාශ කළාය.

"මේක අපේ යුතු කමක්. ලෝකයට පෙන්වමු, අපි කොයි විදිහේ සාමකාමී ජනතාවක්ද කියන එක," හෙට නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහය ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මාලිනි ෆොන්සේකා නිළිය සඳහන් කළාය.

මේ අතර, තමිල්නාඩුවේ නිෂ්පාදිත දමිල චිත්‍රපට තහනම් කොට ඒ වෙනුවට කේරල චිත්‍රපට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළ යුතු බව, රාවනා බලය සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.

මේ බව දැක්වෙන සංදේශයක් එම සංවිධානය විසින් අද ජාතික ච්ත්‍රපට සංස්ථාව වෙත භාර දෙන ලදී.

තමිල්නාඩුවේ දමිළ නළු නිලියන් කොටි හිතවාදී ස්ථාවරයක් ගෙන කටයුතු කිරීම නිසා ඔවුන්ගේ චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතු බවයි, එම සංවිධානය පවසන්නේ.

මේ තුළින් තමිල්නාඩු ආර්ථිකයට දැනෙන බලපෑමක් සිදු කිරීමට හැකිවනු ඇතැයිද රාවනා බලය සංවිධානය ප්‍රකාශ කළේය.