යාපනයේ 'උදයන්' පුවත් පතට යළි ප්‍රහාරයක්

යාපනයේ පළවන උදයන් පුවත් පතට යලිත් වතාවක් ප්‍රහාරයක් එල්ල වෙයි.

අද සෙනසුරාදා , අලුයම 3.45 ට පමණ යාපනය, කස්තුරි පාරේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට ඇතුළුවවූ පිරිසක් එහි මුද්‍රණ යන්ත්‍රයට පෙට්‍රල් දමා ගිනි තබා අලාභ හානි සිදු කොට ඇත.

තිදෙනකුගෙන් යුත් මේ පිරිස මුලින්ම අහසට වෙඩි තබා ඇති අතර ඒ සමග පුවත්පත් කාර්යාලයේ සිටි සේවකයන් භියෙන් පලා ගොස් තිබේ.

පැමිණි පිරිසෙන් අයකු කාර්යාලය ඉදිරි පිට නවතා අනෙත් දෙදෙනා ඇතුලට ගොස් ප්‍රධාන මුද්‍රණ යන්ත්‍රයට ගිනි තබා ඇති බවටයි වාර්තා වන්නේ.

ඉරිදා ට නියමිත පුවත් පත මෙන්ම මුද්‍රණ කඩදාසි ආදියද ගිනි තබා විනාශ කොට ඇත.

අලුත්වැඩියා කිරීමට නොහැකි පරිදි මුද්‍රණ යන්ත්‍රයට ගින්නෙන් හානි සිදුවී ඇති බව නිවේදනයක් නිකුත් කරන දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

හමුදාව විශාල වශයෙන් සිටින යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලදී, යාපනය දිස්තික්යේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනභවන්ට අයත් උදයන් පුවත් පතට එල්ලවූ ප්‍රහාර මාලාවේ හය වැනි ප්‍රහාරය මෙය යැයි දෙමළ ජාතික සන්ධානය තවදුරටත් සදහන් කරයි.