ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය ගැන බ්‍රිතාන්‍යයේ අවධානය

William Hague
Image caption බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් ලන්ඩන් නුවරදී වාර්තාව ප්‍රකාශයට පත් කළේය

ගතව ගිය වසරේදීත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණයේ ප්‍රබල ප්‍රගතියක් නොමැතිවීම සම්බන්ධයෙන් සිය බරපතල අවධානය පළ වී තිබෙන බව බ්‍රිතාන්‍යය ආණ්ඩුව පවසයි.

2012 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වාර්ෂික වාර්තාව නිකුත් කරන විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු සම්බන්ධ බ්‍රිතාන්‍ය කාර්යාලය හෙවත් විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනමාධ්‍ය නිදහස සහ අධිකරණයේ නිදහසට එල්ල වූ තර්ජන පිළිබඳව විශේෂ අවධානය පළ කොට තිබේ.

යුද්ධයෙන් අනාථවූවන් යලි පදිංචි කිරීමේ ප්‍රගතියක් දක්නට ලැබුණු නමුත් මානව හිමිකම් ක්‍රියාධරයන්ට එල්ල වන තර්ජන සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමේ සිදුවීම් ගතව ගිය වසරේදීත් වාර්තා වූ බව ද බ්‍රිතාන්‍ය වාර්තාවේ දැක්වේ.

ලන්ඩන් අගනුවරදී වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විදේශ ලේකම් විලියම් හේග් විසින්.

දෝෂාභියෝගය

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ, ලලිත් කුමාර් සහ කූගන් මුරුගන් ඇතුළු බොහෝ දෙනකු අතුරුදහන්වීම සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතියක් නොමැති වීම පිළිබඳව අවධානය පළ කරන වාර්තාව කෙසේ වෙතත්, 2012 දී මාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් වාර්තා නොවූ බවද සඳහන් කරයි.

පසුගිය මැයි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු අගමැති ඩේවිඩ් කැමරන්, යුද්ධයෙන් අනතුරුව රටේ සංහිඳියාව ඇති කිරීමේ සහ යුධ අපරාධ චෝදනා ලැබූවන්ට දඬුවම් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ බව ද වාර්තාවේ සඳහන්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් දීර්ඝ කාලයක් රඳවා ගෙන සිටීම සහ විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශ් ඝාතනය සම්බන්ධ පරෙක්ෂණවල ප්‍රගතියක් දක්නට නොමැතිවීම පිළිබඳව ද බ්‍රිතාන්‍ය වාර්තාව අවධානය පළ කරයි.

අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නට ප්‍රහාරයක් එල්ලවීම සහ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27 දෙනෙක් වෙඩි තබා මරා දැමීම මෙන්ම අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය ද විශේෂ අවධානය පළ වී තිබෙන සිදුවීම් අතර වේ.

සමලිංගික සම්බන්ධතා තවමත් ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් කොට තිබෙන බව පෙන්වා දෙන බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය, සමලිංගික අයිතීන් වෙනුවෙන් හඬ නඟන ක්‍රියාධරයන්ට තර්ජන එල්ල වන්නේ නම් එවැනි අවස්ථා පෙන්වා දෙන මෙන් කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඔවුන් දිරිමත් කරන බව ද පවසයි.

එමෙන්ම යුද්ධයෙන් අනතුරුව උතුරු පළාතේ කිසියම් ප්‍රගතියක් දක්නට ලැබෙන නමුත්, උතුරේ තවමත් හමුදා භටයන් විශාල පිරිසක් සිටින බව පෙන්වා දෙන බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය සමස්තයක් වශයෙන් උතුරේ පවතින්නේ යහපත් වාතාවරණයක් නොවන බව ද ප්‍රකාශ කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර