කොටගලදී විරෝධතා රැළියට පහරදුන් පොලිසියට වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාගෙන් දොස්

kotagala police attack

වතුකරයේ වැටුප් පිලිබඳ සාමුහික ගිවිසුම හෙලා දකිමින් සංවිධානය කැරුණු උද්ඝෝෂණයකට පහර දුන් බවට ආණ්ඩු පක්ෂයේ සිය කැබිනට් සගයකුට බරපතල චෝදනාවක් යොමු කළ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පොලිසියත් එම නීති විරෝධී බාධා කිරීමට හවුල් වූ බව කියා සිටියේය.

වෘත්තීය සමිති දහසයක් ඊයේ කොටගල ට රැස්වූ අවස්ථාවේ දී වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති වරයා ඇතුළු උද්ඝෝෂකයන්ට තුවාල සිදු කරමින් දියත් කැරුණු ගල් මුල් ප්‍රහාරය සම්බන්ධයෙන් සංවිධායකයන් චෝදනා කළේ ආණ්ඩුවේ හවුල්කාර ලංකා කම්කරු කොන්ග්‍රසයටයයි.

අද (අඟහරුවාදා) කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඒ බව තහවුරු කළ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයටත් චෝදනාවට ලක් කළේය.

නීත්‍යනුකූලව විරෝධතාවක් පැවැත්වීමට සිටි පිරිස් වැලක්වීම මගින් නීති විරෝධී ලෙසින් කටයුතු කළ බව පවසමින් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පොලිසියත් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති සම්මේලනයේ කොටගල විරෝධතාවට ප්‍රචණ්ඩ ලෙස අවහිර කිරීමේ සැලැස්මක් තිබුණු බව තමන් පොලිස්පති වරයාට කලින්දා රාත්‍රියේ දැනුම් දුන් නමුත් වතුකරයේ සාමුහික ගිවිසුමට විරෝධය පෑ කම්කරුවන්ට පහර දී සාමය කඩකළ කළහකාරීන්ට එරෙහිව කිසිදු පියවරක් නොගත් බවට වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පොලිසියට චෝදනා කළේය.

වතුකරය උතුරුකරය ලෙසින්ම දැඩි මර්දනයකට ලක් කිරීමේ සැලසුම් කොටගල ප්‍රහාරයෙන් හෙළිවන බවයි කඳුරට වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ. වැටුප් පමණක් නොව වතු කම්කරුවන්හට ඉඩම් අයිතිය දිනා ගැනීමත් උද්ඝෝෂණයේ අරමුණක් වූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පාලක පක්ෂය හා ආණ්ඩු විරෝධීන් අතර ගැටුමකදී පොලිසිය ආණ්ඩුවට පක්ෂපාතී වීම සාමාන්‍යයෙන් සිදු වන බවයි නානායක්කාර අමාත්‍යවරයා පවසන්නේ.

කෙසේ වෙතත් කොටගල උද්ඝෝෂණයට තමන් ඇතුළු තවත් ආණ්ඩු පාක්ෂික මැති ඇමති වරුන්ගේ නායකත්වයෙන් යුත් වෘත්තීය සමිතිද සහභාගී වූ බව ඔහු පැහැදිලි කළේය. එසේ තිබියදීත් ඊට පහර දීම මගින් ආණ්ඩු පක්ෂයේ ම සාමාජිකයන්ට එරෙහිව කටයුතු කිරීමේ විශේෂ බලතල ලංකා කම්කරු කොන්ග්‍රස් නායකත්වය සතුව ඇති බව පෙන්නුම් කැරෙන්නේ යැයි වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පැවසීය.