'උතුරේ ඉඩම් කොල්ලයක්' ජවිපෙ

උතුරේ දෙමළ ජනතාවට මුහුණ පෑමට සිදුවී තිබෙන ඉඩම් අහිමි වීමේ ගැටළුවට පිළියමක් වශයෙන් 'ඉඩම් නිරවුල් කිරීමේ කොමිසමක්' පත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටී.

ඉඩම් අහිමිවීමට හේතුවක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේ ඉඩම් අත් පත් කොටගෙන බහු ජාතික සමාගම් වලට හා රජයේ සන්නද්ධ සේනා වෙත පැවරීමයි.

මහින්ද රාජපක්ෂ රජයේ නායකත්වයෙන් හමුදාවට උතුර අත් පත් කර ගැනීමට සහාය වීමේ ප්‍රධාන දේශපාලන වගකීමක් ඉටු කළ ජවිපෙ මාධ්‍යවේදීන් හමුවේ ඉරිදා එය හැඳින්වුයේ 'උතුරේ සිදුවන ඉඩම් කොල්ලයක්' ලෙසිනි.

අක්කර හයදාහක්

Image caption උතුරේ ඉඩම් අයිතිය ඉල්ලා පැවති උද්ඝෝෂණයක්

'යාපනයේ ඉඩම් අක්කර හයදහසක් බලහත්කාරයෙන් අත්පත් කරගන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා,’ යි ජවිපෙ මහ ලේකම් වරයා පැවසීය.

ග්‍රාම සේවා වසම් 27ක් තුළ පවතින ඉඩම් අක්කර 6381ක් මෙලෙස පවරා ගැනීමට යන බවයි ඔහු තව දුරටත් කියා සිටියේ.

උතුරේ පමණක් නොව මඩකලපුව දිස්ත්‍රික්කයේත් ඉඩම් පවරා ගැනීම් සිදුවන බව ජවිපෙ මහ ලේකම් වරයා කියා සිටියේය. මේ අතර පූජනීය ස්ථාන මෙන්ම පාරිසරික වශයෙන් වැදගත් කම් උසුලන කලාපද තිබෙන බවයි ටිල්වින් සිල්වා පවසන්නේ.

උතුරෙන් හමුදාව ක්‍රමක්‍රමයෙන් ඉවත් කරගන්න බව රජය පවසා තිබේ. කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාවට 'රටේ ඕනෑම තැනක' ඉඩම් ලබා ගත හැකි බව රජය ප්‍රකාශ කොට තිබෙනවා.