විදුලි ගාස්තු ඉහල දැමීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක්

විදුලි ගාස්තු ඉහල දැමීම වහාම අවලංගු කරන ලෙස ඉල්ලා මේ මස පහළොස් වැනිදා පැවැත්වීමට නියමිත දැවැන්ත උද්ඝෝෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් අද (බ්‍රහස්පතින්දා) කොටුව දුම්රිය පළ ඉදිරිපිටදී පැවැත්විණි.

මෙය සංවිධානය කර තිබුනේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගතවීමෙන්.

වැඩිවන ජීවන වියදම හමුවේ ජීවත්වීම ජනතාවට ගැටළුවක් වූ පසුබිමක, විදුලි බිල වැඩිකිරීමට රජය ගෙන ඇති තීරණය ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් වශයෙන් හඳුන්වමින් සංවිධායකයන් විසින් ජනතාව අතර පත්‍රිකා බෙදා හරින ලදී.

යම් සහනයක් ලබා දීම සඳහා ඉහල දැමූ විදුලි ගාස්තු යළි සංශෝධනය කරන බවට ජනාධිපතිවරයා මැයි රැළියේදී ප්‍රතිඥා දුන්නත් එය ජනතාව රැවටීමට උත්සාහ කිරීමක් බවයි විරෝධතාවට සහභාගී වූ ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝෂෆ් ස්ටාලින් කියා සිටියේ.

නාස්තිය හා දූෂණය

රජයේ දූෂණ සහ නාස්තිය නිසා ඇතිවී තිබෙන අධික වියදම් පියවා ගැනීමට ජනතාව මත බර පටවා ඇති බව ජෝෂෆ් ස්ටාලින් තවදුරටත් කියා සිටියේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ මේ වසරේ මුළු වියදම රුපියල් කෝටි විසිපන්දහස් හයසීයක් වන අතර එම වියදමින් රුපියල් කෝටි 2800 ක් ම දුෂිත ගිවිසුම් මත තාප විදුලි බලය ලබා දෙන පෞද්ගලික සමාගම් වෙත ගෙවීමට වෙන් කර ඇති බව විරෝධතාකරුවන් බෙදා හරින ලද පත්‍රිකාවක සඳහන් වෙයි.

විදුලි ගාස්තු ඉහල දැමීමට එරෙහිව පක්ෂ භේදයකින් තොරව ඒකරාශී වන බවයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් මයිකල් පෙරේරා ප්‍රකාශ කළේ .

අඩු ආදායම් ලාභී ගෘහස්ත පාරිභෝගිකයාට ලබා දුන් රුපියල් බිලියන තිස් හතරක සහනාධාරය මේ වන විට බිලියන දොළහ දක්වා අඩු කර ඇති අතර අඩුවෙන්ම විදුලි බලය භාවිතා කරන ගැමි ජනතාවගේ විදුලි බිල නව ගාස්තු ක්‍රමය යටතේ 40% සිට 120% දක්වා වැඩිවී ඇති බවයි මෙම විරෝධතා සංවිධායකයන් කියා සිටින්නේ.