කණගාටුව පළ කිරීමෙන් පසු අසාද් සාලි නිදහස්

Sally's int in Indian magazine
Image caption දකුණු ඉන්දීය සඟරාවක් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාව විකෘති කොට පළ කොට තිබෙන බව අසාද් සාලි පවසයි

දකුණු ඉන්දීය සඟරාවකට කරන ලද ප්‍රකාශයක් මගින් කිසියම් පුද්ගලයෙකුට සිත් රිදවීමක් වූයේ නම් ඒ පිළිබඳව කණගාටුව පළ කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් කොළඹ හිටපු උප නගරාධිපති අසාද් සාලි නිදහස් කරන ලද බව ඔහුගේ නීතිවේදියා පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගැනීමට එරෙහිව ඔහු විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමටද දෙපාර්ශවය එකඟ වූ බවද අසාද් සාලිගේ නීතිවේදී ශිරාස් නූර්දීන් බීබීසී සංදේශයට පැවසීය.

විශේෂයෙන්ම අදාළ සඟරාවට අසාද් සාලි කළ ප්‍රකාශය විකෘති කොට පළ කොට තිබෙන බව සඳහන් කරමින් සහ ඔහුට එරෙහිව නගා තිබෙන චෝදනා සම්බන්ධයෙන් කරුණු දක්වමින් ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යංශයේ ඉහල නිලධාරීන්ට ලිපියක් සහ දිවුරුම් පෙත්සමක් යොමු කළ බව ඔහු සඳහන් කළේය.

අසාද් සාලි කිසිසේත්ම ආයුධ සන්නද්ධ අරගලයකට සහාය නොදෙන බවත්, රටේ ජාතීන් අතර සමගිය බිඳීමට නොව සමගිය තහවුරු කිරීම සඳහා පෙනී සිටින්නෙකු බවත් එම දිවුරුම් පෙත්සමේ සඳහන්.

'කොන්දේසි මත'

එම ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය කොට තිබෙන්නේ නම්, එම අර්ථකථනය මගින් කිසිවෙකුට හෝ සිත් තැවුලක් වූයේ නම් ඒ පිළිබඳව දිවුරුම් පෙත්සමෙන් කණගාටුව පළ කරන ලද බවයි, නීතිඥ ශිරාස් නූර්දීන් සංදේශයට පැවසුවේ.

එමෙන්ම සාකච්ඡාවක් සඳහා ආරාධනා කරන ලද චෙන්නායි නුවර පදනම් කරගත් සංවිධානයේ පසුබිම සහ අරමුණු පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව ඔහු එයට සහභාගි වූ බවත් දිවුරුම් පෙත්සමේ සඳහන් කොට තිබේ.

එම කරුණු සඳහන් කරමින් ඉදිරිපත් කරන ලද දිවුරුම් පෙත්සමේ සහ ජනාධිපතිවරයාට ලියන ලද ලිපියේ ඇතුලත් එම කරුණු පිළිබඳව සෑහීමකට පත්වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ නිකුත් කරන ලද රඳවාගැනීමේ නියෝගය ඉවත් කරගත් බවද නීතිඥ නූර්දීන් පැවසීය.

ඉන් අනතුරුව හිටපු උප නගරාධිපතිවරයා නවලෝක රෝහලට ඇතුලත් කොට තිබේ.

ඔහු අත් අඩංගුවට ගැනීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඇතුළු නඩු ඉවත් කරගැනීම ඔහු නිදහස් කිරීම පිණිස එකඟ වූ එක් කොන්දේසියක්.

මේ අතර එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය මැයි 28 වැනි දින දක්වා කල් තැබුවේය.

පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකාර පාර්ශවයෙන් කරුණු විමසීම සඳහා තවත් කල් අවශ්‍ය බවට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිවේදීන් කළ ඉලීමට වග උත්තරකාර පාර්ශවයෙන් විරෝධයක් පළ නොවීමෙන් අනතුරුවයි, අධිකරණය පෙත්සම කල් තැබීමට තීන්දු කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර