මාධ්‍ය හිමිකරුවන් 'නිදහස වෙනුවෙන් පෙනී සිටියේ නෑ'

Lal Wickramathunga
Image caption සිය ව්‍යාපාරවලට හානියක් වෙතැයි බියෙන් මාධ්‍ය හිමිකරුවන් මුනිවත රැකි බව ලාල් වික්‍රමතුංග පවසයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට තර්ජන එල්ල වන අවස්ථාවලදී මාධ්‍ය හිමිකරුවන්එයට එරෙහිව නැඟී නොසිටීම මාධ්‍ය නිදහස බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වූ බව මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් පවසයි.

මෑතක් වනතුරුම සන්ඩේ ලීඩර් පුවත්පතේ හිමිකරු වූ ලාල් වික්‍රමතුංග ඒ බව පැවසුවේ බීබීසී සංදේශය සමඟ ලන්ඩන් නුවරදී සාකච්ඡාවකට එක් වෙමින්.

මාධ්‍ය හිමිකරුවන් අතින් සිදුවූ එම "අඩුපාඩුවට" ප්‍රධානම හේතුව තමන් පවත්වාගෙන යන අනෙක් ව්‍යාපාරවලට හානියක් වෙතැයි බියෙන් මුනිවත රැකීම බවයි, ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ සොහොයුරා පවසන්නේ.

අනෙක් අතට මාධ්‍ය හිමිකරුවන් දේශපාලන පක්ෂවලට කෙලින්ම හෝ වක්‍රව සම්බන්ධව සිටීම තවත් හේතුවක් බවද ලාල් වික්‍රමතුංග පැවසීය.

සුලු ජාතීන්ට එල්ලවන පීඩාවන්

විශේෂයෙන්ම ආණ්ඩුවේ මතය හැරෙන්නට එයට විරුද්ධ මතයක් ප්‍රකාශ කිරීම සඳහා වර්තමානයේ ශ්‍රී ලංකාවේ කිසිදු අවකාශයක් නොපවතින බව පවසන ඔහු, මේ තත්ත්වය යටතේ නිදහස් වාර්තාකරණයක යෙදීමට මාධ්‍යවේදීන් බියපත්ව සිටින බවද සංදේශයට පැවසීය.

එබැවින් සිය පුවත්පතේ සේවය කරන මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිත කිරීමේ අරමුණින් පුවත්පතේ කොටසක් විකුණා දැමීමට තීරණය කළ බවයි, ඔහු පවසන්නේ.

වත්මන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඇතුළු සුලු ජාතීන්ට එල්ලවන පීඩාවන් සම්බන්ධ වාර්තාකරණය බොහෝදුරට බිඳ වැටී තිබෙන බවත් ලාල් වික්‍රමතුංග පිළිගත්තේය.

ආණ්ඩුවේ "කොටි ලේබලය" හෝ "කොටි හිතවාදී" ලේබලයට මාධ්‍යවේදීන් බියවීම එයට ප්‍රධානම හේතුව බවයි, ඔහු පවසන්නේ.

මේ තත්ත්වය යටතේ ආණ්ඩුවේ නොවන මාධ්‍යවලින් පවා ශ්‍රී ලංකාවේ ජනතාවට නුදුරු අනාගතයේදී හෝ සත්‍යය දැන ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව ලාල් වික්‍රමතුංගගේ අදහසයි.

"බලාපොරොත්තු වෙන්න බෑ. මට පේන කාලෙක බලාපොරොත්තු වෙන්න බෑ," ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර