සිවරාම් පැහැරගෙන ගියේ 'පැජරෝ රථයකින්'

Dharmaratnam Sivaram
Image caption 2005 අප්‍රේල් 28 වැනි දින පැහැර ගනු ලැබූ සිවරාම්ගේ සිරුර පසුදින පාර්ලිමේන්තුව අසලින් හමුවිය

පැජරෝ ජීප් රථයකින් පැමිණි හැඩි දැඩි පුද්ගලයන් දෙදෙනකු විසින් මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් පැහැරගෙන යනු තමා දුටු බව නිදහස් මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසයි.

කෙසේ නමුත් එම පුද්ගලයන් දෙදෙනා හඳුනා ගැනීමට තමන්ට නොහැකි වූ බවද කුසල් පෙරේරා සඳහන් කළේය.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ ටැමිල්නෙට් වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ට සංස්කාරකවරයකු වූ ධර්මරත්නම් සිවරාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිලිබඳ නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම පළමු වරට ආරම්භ වූ අවස්ථාවේ කොළඹ මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින්.

2005 අප්‍රේල් 28 වැනි දින බම්බලපිටිය ප්‍රදේශයේදී මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් පැහැර ගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් ප්ලොට් සංවිධානයේ සාමාජිකයකු වූ ආරුමුගම් ශ්‍රී ස්කන්ධරාජා හෙවත් පීටර් නැමති විත්තිකරු චෝදනා ලබා සිටී.

ඔහුට එරෙහිව 2006 වසරේදී නඩු පැවරීමෙන් අනතුරුව විත්තිකරු දැන් ඇප මත නිදහස ලබා සිටී.