උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන දිනය 'දැනුම් දී නෑ'

  • 14 මැයි 2013
Mahinda Deshapriya
Image caption ජාත්‍යන්තර නිරීක්ෂකයන් ගෙන්වීමේ හැකියාව මැතිවරණ කොමසාරිස්වරයා බැහැර නොකරයි

උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත දිනයක් තමන්ට දන්වා නැතැයි මැතිවරණ කොමසාරිස් වරයා ප්‍රකාශ කරයි.

මෙයින් මාසයකට පමණ ඉහතදී වැලිඔය පැවැති මහවැලි ගොවීනට ඉඩම් බෙදාදීමේ උත්සවයකදී ප්‍රකාශයක් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ සැප්තැම්බරයේ උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන බව නිවේදනය කළේය.

ඉන් අනතුරුව උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් මේ වනවිටත් ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂ මැතිවරණ පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කොට තිබේ.

එහෙත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී මාධ්‍යවේදීන් හමුවේ මහින්ද දේශප්‍රිය කොමසාරිස්වරයා කියා සිටියේ තමන්ට ඒ පිලිබඳ නිල දැනුම් දීමක් මේ තාක් සිදු කොට නැති බවයි.

යුද පීඩිතයන්

ජුනි මස පළමු වැනිදා ඡන්ද හිමියන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කරුණු දැක්වීමේදීයි මැතිවරණ කොමසාරිස් වරයා උතුරේ ඡන්ද පැවැත්වීම සඳහා ඇති සූදානම පිළිබඳව අදහස් පළ කළේ.

උතුරේ මැතිවරණය සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් ගෙන්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය හා දමිළ ජාතික සන්ධානය මෙන්ම දේශීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්ද යෝජනා කොට තිබූ අතර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඒ සඳහා තිබෙන හැකියාව බැහැර නොකළේය.

යුද්ධය නිසා උතුරෙන් පළා යන්නට බල කරනු ලැබ තම මුල් ගම් බිම් වලින් ඉවත පදිංචිව සිටින සමහරකු ඡන්ද හිමි නාම ලේඛනයේ ලියා පදිංචි කොට නොමැති බවද මැතිවරණ කොමසාරිස් වරයා පෙන්වා දෙයි.

එම යුද පීඩිතයන් තාවකාලිකව පදිංචි වී සිටින තැන්වල ලියා පදිංචියට ඉඩ සලසන ලෙසත් මැතිවරණ කොමසාරිස් වරයා පුද්ගලික නිවාස හිමියන්ගෙන් ඉල්ලීමක් කළේය.