එජාප නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් යෝජනා කරයි

එක්සත් ජාතික පක්ෂය, පාර්ලිමේන්තුවට වග කියන අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයකින් හෙබි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් යෝජනා කරයි.

කෙටුම්පත යෝජනා කරමින් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියා සිටියේ ලෝකයේ වැඩිම බලතල ඇති ජනාධිපතිවරයා සිටින්නේ ශ්‍රී ලංකාවේ බවයි.

1978 ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා හඳුන්වා දුන් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ, විධායක ජනාධිපතිවරයා වෙත සියලු බලතල කේන්ද්‍රගත වී තිබීම, ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම රටේ සංවර්ධනයටත් ප්‍රබල බාධාවක් වී ඇති බවයි.

"මේ වනවිට ජනතාවට මූලික වශයෙන් දක්නට හැකි දෙයක් තමයි තමන්ට පරමාධිපත්‍යයේ අයිතිය අහිවෙලා තියෙනවා, .පරමාධිපත්‍යයේ බලය විධායකය විසින් උදුරාගෙන තියෙනවා. ඒක නිසා ඒ පරමාධිපත්‍යයේ බලතල සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට නැවතත් ජනතාවට ලබාදීම මූලික අරමුණක් වෙනවා," නව ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත ගැන තොරතුරු ඉදිරිපත් කරමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.,

පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර පහක් වශයෙන්, යෝජිත කෙටුම් පතේ දක්වා තිබෙන බව පැවසූ ඔහු ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුවේ ධුර කාලය සීමා කොට විසුරුවා හැරීමට මෙම යෝජනා මාලාවෙන් නොහැකි බව ප්‍රකාශ කළේය.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පක්ෂ මාරු කිරීමට ඉඩ කඩ ඇහිරෙන බව පැවසූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ වෙනසක්ද යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිදු කිරීමට බලාපොරොත්තුවන බව පැවසුවේය.

නව ව්‍යවස්ථාවෙන් යෝජනා කර ඇති පරිදී , 225 වන වර්තමාන පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවේ වෙනසක් නොවන පරිදි ආසන 125 ක් කොට්ඨාශ ක්‍රමය යටතේ ද, ආසන100 සමානුපාතික ක්‍රමය යටතේ ද මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට යෝජනා කොට ඇති බවයි ඔහු පැවසුවේ.