සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම ගැන අධිකරණය පොලීසියෙන් විමසයි

  • 2013 මැයි 17
Sri Lanka Supreme Court
Image caption රටේ පුරවැසියන්ගේ ආගමික අයිතිය රැකදීමට අධිකරණය බැඳී සිටින බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති

ගාල්ලේ ක්‍රිස්තියානි දේවස්ථානයකට පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි කරුණු පහදන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ගාල්ල පොලීසියට නියෝග කළේය.

ගිංතොට පිහිටි පෙන්තකොස්ත සභාවට අයත් ආගමික මධ්‍යස්ථානයක භාරකරුවන් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය එම නියෝගය කළේ.

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු කණ්ඩායමක් සිය මධ්‍යස්ථානයට කඩා වැදී එහි ආගමික කටයුතු නවත්වන මෙන් බලකරමින් මධ්‍යස්ථානයට පහරදුන් බව භාරකරුවන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළ නමුත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම පොලීසිය විසින් පහර හරිමින් සිටින බවට චෝදනා කරන පෙත්සම, ඒ වෙනුවෙට සිය මධ්‍යස්ථානයේ ඉදිරි ආගමික කටයුතු සඳහා අධිකරණයේ අවසරය ලබා ගන්න මෙන් පොලීසිය බලපෑම් කරමින් සිටින බව ද පවසයි.

එහිදී අධිකරණය අමතමින් ප්‍රකාශයක් කළ විනිසුරු නිමල් ගාමිණී අමරතුංග කියා සිටියේ, ආගමික අර්බුදවලට මැදිහත්වීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි.

කෙසේ නමුත් රටේ පුරවැසියන්ගේ ආගමික අයිතිය රැකදීමට අධිකරණය බැඳී සිටින බව පෙන්වාදීමෙන් අනතුරුව අධිකරණය පොලීසියට එම නියෝගය කළ පෙත්සම්කරුවන්ගේ නීතිවේදී ලක්ෂාන් ඩයස් බීබීසී සංදේශයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර