මළවුන් සැමරූ මන්ත්‍රීවරයා රහස් පොලීසියට

The ceremony to commemorate war dead in Vavuniya (file photo)
Image caption යුද්ධයේදී මියගිය පුද්ගලයන් සිහිකිරීමේ උළෙලක් මැයි 18 වෙනිදා වවුනියාවේ සංවිධානය කොට තිබුණි

යුද්ධයේදී මියගිය දෙමළ ජනතාව අනුස්මරණය කිරීමේ උත්සවයක් සංවිධානය කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පොලීසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවසක්ති ආනන්දන් පවසයි.

යුද්ධයේදී මියගිය පුද්ගලයන් සිහිකිරීමේ උළෙලක් ඔහු විසින් මැයි 18 වෙනිදා වව්නියාව පුරහලේ සංවිධානය කොට තිබුණි.

කොළඹ රහස් පොලිස් මූලස්ථානයට තමන් කැඳවූ පොලීසිය, එම උත්සවය සංවිධානය කිරීමේ හේතු විමසූ බවත්, යුද්ධයේදී සිය ඥාතීන් මරුමුවට පත්වූ ජනතාවට ඔවුන් සිහි කිරීම සඳහා එය සංවිධානය කළ බව තමන් පොලීසියට දැනුම් දුන් බවත් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය.

වවුනියාව බන්ධානාගාරයේ ගැටුමක් හටගත් අවස්ථාවේ රැඳවියන් ඔහුට දුරකථන ඇමතුම් ලබාදීම පිළිබඳවත් පැය හතරකට ආසන්න කාලයක් පැවති එම ප්‍රශ්න කිරීමේදී පොලීසියේ විමසීමට ලක්වූ බවද දෙමළ ජාතික සන්ධානයේ සිවසක්ති ආනන්දන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

බන්ධනාගාරයේ රැඳවියන් තමන්ට දුරකථනයෙන් අමතා ඔවුන්ගේ උපවාසය පිළිබඳව සාධාරණයක් ඉටු කර දෙන මෙන් ඉල්ලා සිටි අතර, එවිට සෙල්වන් අඩයිකලනාදන් මන්ත්‍රීවරයා සමඟ තමා එහි ගොස් ගැටුම විසඳීමට මැදිහත්වූ බව එයට පිළිතුරු වශයෙන් පොලීසියට දැනුම් දුන් බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.

මළවුන් සැමරීම නිසා මන්ත්‍රීවරයා මෙසේ රහස් පොලීසියට කැඳවීම උගත් පාඩම් ජනාධිපති කොමිසන් වාර්තාවෙන් නිර්දේශ කොට ඇති මළවුන් සිහිපත් කිරීමේ අයිතිය රජය විසින් උල්ලංඝනය කිරීමක් ලෙසිනුයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් විග්‍රහ කරන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර