මන්ත්‍රී නාමල් පවා 'නිවුමන් පදනමේ රැස්වීම්වලට යනවා'

President Rajapaksa (C) meeting UNP delegation (file photo)
Image caption ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව පෙරලීම විපක්ෂයේ කාර්යභාය බව එජාපය අවධාරණය කරයි

ජනපති පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවා ෆ්‍රෙඩ්රික් නිවුමන් පදනමේ රැස්වීම්වලට සහභාගි වීමට නියමිතව තිබියදී විපක්ෂ මන්ත්‍රීවරුන් පසුපස ලුහුබඳිමින් සිටින බවට එක්සත් ජාතික පක්ෂය (එජාප) ආණ්ඩුවට චෝදනා කරයි.

තමන් සහභාගි වූ වැඩමුළුවක් සම්බන්ධයෙන් එම පදනමේ සාගරිකා දෙල්ගොඩ පසුගියදා රහස් පොලීසියට කැඳවා පැය දහයක පමණ කාලයක් ප්‍රශ්න කොට තිබෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක බීබීසී සංදේශයට පැවසීය.

පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීමෙන් අනතුරුව ඇයගෙන් ප්‍රශ්න කොට තිබෙන බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.

"මීට පෙර ජී එල් පීරිස්, මහින්ද සමරසිංහ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගෙනාවා කොන්ෆරන්ස් එකකට. ඒ වගේ නිරන්තරයෙන් ගොඩක් කට්ටිය ගෙන්නුවා," බවද මන්ත්‍රීවරයා පවසයි.

'විමර්ශනයක් පැවැත්වෙනවා'

ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එම වැඩමුළුවට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගැනීමට සැරසෙන බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට පෙර ආණ්ඩුවට චෝදනා කොට තිබුණු නමුත් එවැනි සූදානමක් නැති බවයි, ආණ්ඩුව පවසන්නේ.

ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණ චෝදනාව "ආණ්ඩුවේ දවල් හීනයක්," ලෙසින් විග්‍රකරන රවි කරුණානායක මන්ත්‍රීවරයා, මෙය ෆ්‍රෙඩ්රික් නිවුමන් පදනම වැනි සංවිධාන විපක්ෂයට ආධාර කිරීමේ උත්සාහයක් බව ද පවසයි.

මේ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල බීබීසී සංදේශයට කියා සිටියේ, දැනට පැවැත්වෙමින් තිබෙන විමර්ශනයක් පිළිබඳව අදහස් දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.

අදාළ වැඩමුළුව සම්බන්ධයෙන් සාගරිකා දෙල්ගොඩගෙන් ප්‍රශ්න කළේද යන්න සම්බන්ධයෙන් කිසිවක් පැවසීමද ඔහු ප්‍රතික්ෂේප කළේය.