දඹුල්ලවාසීන් පිරිසකට ඉඩම්වලින් ඉවත්වන මෙන් නියෝග

  • 27 මැයි 2013
Damulla temple
Image caption පාදෙණිය, ඓතිහාසික දඹුලු ගල පාමුල පිහිටි දඹුලු පූජා නගරයට අයත් ගම්මානයක්

සිය නිවාස අහිමි වීමේ තර්ජනයට ලක්වී සිටින බව ඓතිහාසික රන්ගිරි දඹුලු ගල පාවුල ගම්වාසීන් පිරිසක් පවසති.

පාදෙනියේ පවුල් තිස් පහක් කැඳවූ මාතලේ දිසාපතිනිය පැය විසි හතරක් ඇතුලත නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් යොදවා නිවාස කඩා දමන බව දැනුම් දුන් බව ප්‍රදේශවාසීහු බීබීසී සංදේශයට පැවසූහ.

වෙනත් ඉඩම් සහ වන්දි ලබාදීම පිලිබඳ සාකච්ඡාවක් පිණිස ලිපියකින් තමන් කැඳවූ දිසාපතිනිය, වසර තිස් පහක් මුළුල්ලේ තමන් පදිංචිව සිටින්නේ ආණ්ඩුවේ ඉඩම්වල බැවින් කිසිදු වන්දියක් නොගෙවන බව දැනුම් දුන්නේ යයි ප්‍රදේශවාසී කාන්තාවක වන සරෝජිනී කියා සිටියාය.

"අපිට යන්න එන්න තැනක් නෑ. අපි ඉපදුනේ, ඉස්කෝලේ ගියේ, හැදුනේ ඔක්කොම මේ පාදෙණියේ," ඇය පවසන්නීය.

තමන් ජීවත්වන්නේ දඹුල්ල පූජා නගරයට අයත් ඉඩම්වල බව පිළිගන්නා සරෝජිනී, වෙනත් ඉඩම් ලබා දෙන්නේ නම් පූජා නගරයෙන් ඉවත්වීමට තමන් සූදානම් බවද සංදේශයට කියා සිටියාය.

විශේෂයෙන්ම යුද්ධය සමයේ "එල්ටීටීඊ සාමාජිකයන්" ලෙසින් චෝදනාවට ලක්වීමේ බිය නිසා වෙනත් පලාතක පදිංචියට යාම අවදානම් සහගත කරුණක් වූ බවත්, ඒ සමයේ අසල්වාසී සිංහල ජනතාව තමන්ට ඉතා හොඳින් සැලකූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ගම්වාසීන් ඉදිරිපත් කරන ඉහත කී චෝදනා පිළිබඳව විමසීම පිණිස මාතලේ දිසාපතිනි හෙලන් මීගස්මුල්ල ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර