විද්‍යුත් මාධ්‍ය සඳහා 'ස්වයං නියාමනයක්'

දිවි තොර කර ගැනීමේ අරමුණින් හිමි නමක් ගිනි තබා ගැනීම රුපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රචාරය වූ ආකාරය විද්‍යුත් මාධ්‍යයේ වාර්තා සම්බන්ධයෙන් නියාමනයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දෙන බව රජයත් ජනමාධ්‍ය සංවිධානත් ප්‍රකාශ කරයි.

වෙසක්දා, බෝවත්තේ ඉන්දරතන හිමියන් ගිනි අවුළුවා ගත් අවස්ථාව වාර්තා කළ ආකාරය ගැන ස්වර්ණවාහිනියේ මාධ්‍ය ප්‍රධානීන් සමග අඟහරුවාදා කැරුණු නිල සාකච්ඡාවකදී, නියාමනයක අවශ්‍යතාව රජය විසින් අවධාරණය කැරුණු බවයි, ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් චරිත හේරත් බීබීසී සංදේශය සමග කියා සිටියේ.

රජයේ ජනමාධ්‍ය බලධාරීන් විසින් කරන ලද කැඳවීමක් පරිදි ස්වර්ණවාහිනියේ හිමිකාර ජීවක එදිරිසිංහ සහ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී චමින්ද කරුණාරත්න අඟහරුවාදා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යංශ ලේකම් වරයා මුණගැසී තිබේ.

ස්වර්ණවාහිනියේ 'වරදක්'

බෝවත්තේ ඉන්දරතන හිමියන් ගිනි අවුළුවා ගත් අවස්ථාව සවිස්තර දර්ශන සහිතව වාර්තා කිරීම ස්වර්ණවාහිනියේ මාධ්‍ය ප්‍රධානීන් වරදක් සේ පිළිගත් බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වරයා ප්‍රකාශ කළේය.

සංයමයෙන් වාර්තාකරණයේ යෙදීම සඳහා 'ආචාර ධර්මීය පදනමක් සහ සීමාවන් පිළිබඳ එකඟතාවක්' විද්‍යුත් මාධ්‍ය ආයතන විසින් සකස් කොට ගැනීම යහපත් කටයුත්තක් වනු ඇතැයි කී චරිත හේරත් ජනමාධ්‍ය පාලනය සඳහා නීති රීති සම්පාදනය රජයේ අවශ්‍යතාව නොවන බව කියා සිටියේය.

මර්දනයේ අවදානම

විද්‍යුත් මාධ්‍ය සියල්ල එක්ව තමන්ගේ නියාමනයක් පනවා නොගන්නේ නම් රජය එය මර්දනයට හේතුවක් කොට ගැනීමේ අවදානමක් ඇති බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අනතුරු අඟවා සිටී.

කෙසේ වෙතත් 'වාර්තා කළ යුත්තේ කොයි ආකාරයටදැයි,' නියම කිරීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බවයි සංවිධානයේ කැඳවුම්කාර සුනිල් ජයසේකර බීබීසී සංදේශයට කියා සිටියේ.

මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා ආකාරයේ සංවරණ හා තුලන විධික්‍රමයක් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව ජනමාධ්‍ය සංවිධාන විසින් කීපවර පෙන්වා දී ඇතත්, විද්‍යුත් මාධ්‍ය හිමියන් මේතාක් ඊට අනුමැතිය පළ නොකිරීම පිළිබඳව සුනිල් ජයසේකර කනගාටුව පල කොට සිටියේය.

හිමි අවමඟුල

මේ අතර, අපවත්වූ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ අවසාන කටයුතු අද රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්තේදී දැඩි පොලිස් හා හමුදා රැකවල් මධ්‍යයේ සිදු කැරුනි.

විශාල ජනකායක් මධ්‍යයේ පෝරණුව ක්‍රීඩාංගනයේ පැවැති අවමංගල උත්සව සභාව අමතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කතා කරද්දී පිරිසක් ඊට බාධා පැමිණවූ අතර ජාතික හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත නායක හිමියන් තත්වය පාලනය කරන්නට උත්සාහයක් දැරූ අවස්ථාවේ භික්ෂුන් වහන්සේ සමුහයක් නැගිට ගිය බව අජිත් ලාල් ශාන්ත උදය වාර්තා කළේය.

ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයන් සතු කඩ සාප්පුද වසා තිබු බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.