අසීමිත මාධ්‍ය නිදහස භුක්ති විදින්නන් පිළිබඳ පැමිණිලි

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ පැවැත්වෙන විසිතුන්වැනි සැසිවාරය වෙත ලිපි යොමු කරන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ මානව හිම්කම් සංවිධාන කියා සිටින්නේ යුද තත්වය අවසන්ව ඇතත්, මානව හිමිකම් පිලිබඳ තත්වයේ පැහැදිලි වර්ධනයක් දක්නට නැති බවයි.

මෙයින් එක් සංවිධානයක් වන සකලවිධ වෙනස්කම් වලට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය (IMADR) ශ්‍රී ලංකාව තුළ රැස්වීමේ අයිතියට තර්ජන එල්ලවී ඇති බව ප්‍රකාශ කරයි.

පිටින් පෙනෙන නිදහස

එක්සත් ජාතීන් වෙත ජිනීවා නුවරට යැවු ලියැවිල්ල පිළිබඳව කරුණු පැහැදිළි කරන IMADR ප්‍රධානී නිමල්කා ප්‍රනාන්දු කියා සිටින්නේ 'පිටින් පෙනෙන නිදහස සැබෑ ලෙස නොලැබෙන' බවයි.

"නීතීඥයන්, කම්කරුවන්, ධීවරයන් වගේම උතුරේ ජනතාවට මේ අන්දමින් මර්දනය එල්ල වී තිබෙනවා. මේ සඳහා අධිකරණය, පොලීසිය වගේම රජයට පක්ෂපාතී මැර කණ්ඩායම් යොදා ගැනීම රජයේ වැඩ පිළිවෙලයි." යනුවෙන් ඇය තම ලියවිල්ලේ පසුබිම සංදේශයට විස්තර කළාය.

අවමගුල් උත්සවවලට පවා බාධා

ඇතැම් විට අවමගුල් උත්සවවලට පවා බාධා සහ සීමා පැනැවෙන බව පවසන ඇය, උතුරේ මෙන්ම දකුණේත් මෙම මර්දනය ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරන්නීය.

මේ අතර රජයේ ප්‍රතිපත්ති වලට පක්ෂපාතී උද්ඝෝෂණ සහ රැස්වීම් වලට කිසිදු බාධාවක් නොමැති බව පවසන නිමල්කා ප්‍රනාන්දු, රැස්වීම් වලට ඉඩ ලැබුනත්, රැස්වීමෙන් පසු සංවිධායකයනට ප්‍රශ්න කිරීම් ඇතුළු ආරක්ෂක අංශවල හිරිහැර විඳ, අත්අඩංගුවට පත්වීමට පවා සිදුවන බවයි ජිනීවා නුවරට යොමුකර ඇති ලියැවිල්ලේ සඳහන් වන්නේ.

අසීමිත නිදහස භුක්ති විදින්නන්

උද්ඝෝෂණ රැළි ආදියේදී මෙන්ම මාධ්‍ය හැසිරවීමේදීද, අසීමිත නිදහස භුක්ති විදින්නන් මෙන්ම කප්පාදුවට සහ මැර ප්‍රහාරයට මුහුණ දෙන්නන් සිටින බවයි, ප්‍රකාශනයේ අයිතියට ඇති සීමා පිළිබඳව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධාන ගණනාවක් ප්‍රකාශ කර සිටින්නේ.

සඳුදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඇමතූ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ, යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවූ සියලුම දෙනා මුළුමනින්ම පදිංචි කරවා හමාර බව ප්‍රකාශ කොට සිටියේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වර්ධනය සියැසින් දැක ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවී පිල්ලේ අගෝස්තු මස 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවද ඔහු අනාවරණය කළේය.