ආසියාතික මළල ක්‍රීඩා උළෙල ඉන්දියාවේ පුනේ (Pune ) නගරයේ

මාස ගණනාවක අවිනිශ්චිත පසුබිමකින් පසු ආසියාතික මළල ක්‍රීඩා උළෙල ඉන්දියාවේ පුනේ (Pune ) නගරයේ පැවැත්වෙන බව ඉන්දීය මළල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි.

ඉන්දියාවේ චෙන්නෙයි හි පැවැත්වීමට නියමිතව තිබූ ආසියාතික මළල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලාංකික කන්ඩායමක් සහභාගිවීම පිළිබඳව තමිල්නාඩු මහ ඇමතිණි, ජයලලිතා ජෙයරාම් විසින් විරෝධය පල කොට තිබිණ.

ආසියානු මළල ක්‍රීඩා ශුරතාවලිය කලින් සැලසුම් කොට තිබූ දිනවලම (ජුලි 3-7) පුනේ නගරයේ පැවැත්වීමට තීරණය කොට ඇති බව ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති, ජෙනරල් පාලිත ප්‍රනාන්දු ප්‍රකාශ කළේය

තමිල්නාඩුවේ මතු වූ විරෝධය හමුවේ තරඟාවලිය එහි පැවැත්වෙන්නේ නම් ඊට සහභාගිවීමට නොහැකි බව ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය විසින් ආසියානු මළල ක්‍රීඩා සංගමයට දන්වා සිටි බව ජෙනරල් පාලිත ප්‍රනාන්දු පැවසුවේය.

මෙවර ක්‍රීඩා සඳහා ඉතාමත්ම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන බව පැවසූ ඔහු පැරණි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වනවිට ක්‍රීඩාවෙන් සමු ගෙන ඇති බවයි සඳහන් කළේ.

මේ වර්ෂයෙදී ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට යම්කිසි මට්ටමකට ලඟා වීමට ඇති හැකියාව ගැනත් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති, ජෙනරල් පාලිත ප්‍රනාන්දු විශ්වාශය පල කළේය.