උතුරේ ඡන්දයට පෙර 'දෙමළ ඡන්ද අඩු කිරීමේ වෑයමක්'

ITAK meeting in Kilinochchi
Image caption 'උතුරේ අලුතින් ගම්මාන නිර්මාණය කොට එහි සිංහල සහ මුස්ලිම් වැසියන් පදිංචි කරමින් සිටිනවා'

උතුරේ පළාත් සභා මැතිවරණයට පෙර දෙමළ වැසියන්ගේ ඡන්ද ප්‍රමාණය අඩු කිරීමට සියලු උත්සාහයන් දරමින් සිටින්නේ යයි දෙමළ ජාතික සන්ධානය (දෙජාස) ආණ්ඩුවට චෝදනා කරයි.

උතුරේ සෑම දිස්ත්‍රික්කයකම අලුතින් ගම්මාන නිර්මාණය කොට එහි සිංහල සහ මුස්ලිම් වැසියන් පදිංචි කරමින් සිටින ආණ්ඩුව අනෙක් පැත්තෙන් දෙමළ වැසියන් එක් ලක්ෂ අසූ දහසකගේ ඡන්ද අයිතිය කප්පාදු කොට ඇතැයි දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී මාවයි සේනාධිරාජා පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව කිලිනොච්චියේදී රැස්වූ අවස්ථාවේදී බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

සිය චෝදනාව පිලිබඳව වැඩිදුරටත් විස්තර කළ මන්ත්‍රීවරයා, යුද්ධයෙන් උන්හිටි තැන් අහිමි වූ ජනතාවගෙන් ලක්ෂයක් පමණ ඔවුන්ගේ ඥාතීන්ගේ නිවාසවලද තවත් 80,000 ක් පමණ ඉන්දියාවේත් වාසය කරන හෙයින් ඔවුන්ට ඡන්දය සඳහා ලියා පදිංචි වීමේ අවස්ථාව අහිමිව ඇති බව පෙන්වා දුන්නේය.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් උතුරු පළාතේ මැතිවරණයට පෙර ඉන්දීය ආණ්ඩුව, ශ්‍රී ලංකා ආණ්ඩුව සහ මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කළේය.

උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් දෙජාස මහ ඇමති අපේක්ෂකයා නම් කිරීම සහ මහ ඇමතිවරයා පත් කරණ ආකාරය පිලිබඳ සාකච්ඡා කිරීම පළාත් සභා මැතිවරණය නිවේදනය කරන තුරු කල් තැබිණ.