සිසු අයිතීන් මර්දනයට එරෙහිව රජරට විරෝධතා

Image caption රජරට විශ්ව විද්‍යාලයේ සිසු විරෝධතාව

සබරගමුව විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයන්ගේ පන්ති තහනම් කොට ඔවුන් වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදුනු සිසු ක්‍රියාකාරීන්ට පහර දීමට එරෙහිව රජරට විශ්ව විද්‍යාලයේ සිසුහු විරෝධතාවක් දියත් කළහ.

රජරට විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් අඟහරුවාදා සංවිධානය කැරුණු විරෝධතාවේදී දහසකට ආසන්න සිසු සිසුවියන් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිට අනුරාධපුර මිහින්තලේ ප්‍රධාන මාර්ගය වෙත සටන් පාඨ කියමින් පැමිණ පැයකට ආසන්න කාලයක් මාර්ගය අයිනේ උද්ඝෝෂණයක යෙදුනු බවයි අතුල බණ්ඩාර වාර්තා කළේ.

ශිෂ්‍ය සංගම් සභාපති අනුරාධ ඉසුරු බණ්ඩාර එහිදී 'අධ්‍යාපනය විකිණීම' රජයේ නිල ප්‍රතිපත්තිය ලෙසින් හැඳින්වීය.

ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සිසු අයිතීන් මර්දනය කරමින් සිටින බවට රජයට චෝදනා කළ ශිෂ්‍ය සංගම් සභාපතිවරයා ප්‍රකාශ කළේ ,'සබරගමුව ශිෂ්‍යයන්ට එල්ල කළ අමානුෂික ම්ලේච්ඡ ප්‍රහාරය එහිම ප්‍රකාශනයක්,' බවයි.

විසඳුමක් වෙනුවට මර්දනය

Image caption සබරගමු සරසවි උද්ඝෝෂණය දා පොලිසිය

පන්ති තහනම් කරනු ලැබූ සහෝදර සිසුන් 5 දෙනකුට විභාග වලට පෙනී සිටීමේ අයිතිය ඉල්ලා සෙනසුරාදා උද්ඝෝෂණයක යෙදුනු සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් හට විසඳුමක් ලබා දීම වෙනුවට මර්දනය දියත් කරුණු බවයි රජරට සිසු සංගම් නායකයා පැවසුවේ.

එම ක්‍රියා පිළිවෙත නවත්වා සිසු අයිතීන් රැකීමට පියවර ගන්නා මෙන් රජරට විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගම් සභාපති අනුරාධ ඉසුරු බණ්ඩාර රජයෙන් ඉල්ලා සිටියේය.

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට තිබුනේ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට පනවා ඇති පංති තහනම ඉවත්කරන ලෙස ඉල්ලා උපවාසයක නිරතවූ සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර