13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස්කම් කිරීමට රජය අදහස් කරනවා - අමාත්‍ය රඹුක්වැල්ල

පළාත් සභා ස්ථාපනය කොට ඇති 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස්කම් කීපයක් සිදු කිරීමට රජය අදහස් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.

පළාත් සභා කිහිපයක් හා එක්ව එක් පළාත් සභාවක් ලෙස මෙතෙක් කටයුතු කිරීමට තිබූ අයිතිය අහෝසි කිරීමටද, පළාත් සභා විෂයයක් වෙනස් කිරීම්දී පලාත් සභා සියල්ලෙහි අනුමතිය අවශ්‍ය බව පැවසෙන වගන්තිය පළාත් සභාවල බහුතරයේ එකඟත්වය ලෙස වෙනස් කිරීමටද රජය අදහස් කරණ බවයි, අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් කියා සිටියේ.

මේ පිළිබඳව රජයේ පාර්ශ්වයේ පක්ෂවල සහ පළාත් සභාවලද අදහස් විමසා ඉදිරි සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණයක් ගැණීමට නියමිත බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඉහත කී වෙනස්කම් සිදු නොකළොත්, පළාත් සභා සියල්ල එක්ව රට තුළ වෙනම රාජ්‍යයක් ගොඩ නැගිය හැකි තත්වයක් ඇති බවයි, අමාත්‍යවරයා පවසන්නේ.

රජය මෙම ප්‍රශ්නය ඇතුළු ජාතික ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස පත් කොට ඇති තේරීම් කාරක සභාව විපක්ෂයේ සහභාගිත්වය නොමැති නිසා වසරකට අධික කාලයක් අක්‍රීයව පවතින බවත්, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂය ඊට සහභාගී වී නම් එහිදී මේ ගැන සාකච්ජාකොට තීරණයක් ගැනීමට අවස්ථාව තිබුනේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

"ඔවුන් යම් අවස්ථාවක කිව්වා, 13 වැනි සංශෝධනය අපිට වැඩක් නැහැ අපි ඒක පිළිගන්නෙත් නැහැ කියන කතන්දර කියවුනා. තේරීම් කාර ක සභාවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සියලු දෙනාම එක්කාසු වෙලා, නැත්නම් රජයේ වගකීමක් තියෙනවා, 13 වැනි සංශෝධනය සමග නොයෙකුත් මත ගැටුම් මතවාද තියෙනවා, ඒ මතවාදත් එක්ක රජය සුදුසුයි කියන ආකාරයට හිතෙන ආකාරයට යම්කිසි සංශෝධනයක් කිරීමේ අයිතිය සහ යුතු කම තියෙනවා රජයට," අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

සෙසු පළාත් සභාවල ඡන්ද සාර්ථකව පවත්වා නව සංශෝධන දෙමළ ජනතාව වැඩිපුර වෙසෙන උතුරු පළාත් සභා මැතිවරණයට පෙර කඩිමුඩියේ ගෙන ඒමෙන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව නැවත අපකීර්තියට පත්නොවන්නේදැයි කළ විමසුමකට පිළිතුරුදුන් ඇමතිවරයා පැවසුවේ ,ජාත්‍යන්තරයේ වැරදි මත හදන අයට කුමක් කීවත් ඔවුන් ඔවුන්ගේ මතයේ සිට ඉදිරියටම ක්‍රියාත්මක වන බවයි.