බලතල කැපුවොත් ඡන්දය දෙන්නේ නෑ - හකීම්

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු ආකාරයක වෙනස්කමකට ලක් කරනු ලැබීමට විරෝධය පළ කරන බවත්, යෝජිත සංශෝධන පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට ඉදිරිපත් කළහොත් ඊට විරුද්ධව තම පක්ෂය ඡන්දය දීමට තීරණය කර ඇති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් ප්‍රකාශ කරයි.

ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිගන්නේ ද යන්න පිලිබඳ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව ලබන සතිය දක්වා කල් දැමීමට තමන් සහ වාසුදේව නානායක්කාර ඇමතිවරයා කළ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟ වූ බවයි මුස්ලිම් කොන්ග්‍රස් නායකයා පවසන්නේ.

මධ්‍යගත කිරීමට ගන්නා උත්සාහයක්

රජයේ ප්‍රයත්නය, දැනට විමධ්‍යගත කොට ඇති බලය ආපසු මධ්‍යගත කිරීමට ගන්නා උත්සාහයක් ලෙස හඳුන්වා දෙන රවුෆ් හකීම් ඇමතිවරයා, රජයේ පාර්ශව කරුවන් ලෙස දිගටම කටයුතු කිරීම පිළිබඳව ආණ්ඩුව ඉදිරිකාලයෙහි ගන්නා පියවර අනුව සලකා බැලීමට සිදුවන බවයි වැඩිදුරටත් කියා සිටියේ.

මෙවැනි තත්වයක් යටතේ තවදුරටත් රජය තුළ රැඳී සිටින්නේදැයි ප්‍රශ්නයක් යොමුකළ විට ඇමතිවරයා කියා සිටියේ,රජයේ පාර්ශව කරුවෙක් ලෙස ක්‍රියා කිරීම, එමෙන්ම රජය හා කටයුතු කිරීමට රජයේ වත්මන් ක්‍රියාකලාපය හාණිකර බලපෑමක් සිදුකරන බවයි.