එල්ටීටීඊ ප්‍රහාරයකට ලක්වුනු පල්ලියේ ප්‍රතිසංස්කරණ ඇරඹේ

Kaththankudi mosque
Image caption මේ වසරේ රාමසාන් උත්සවයට පෙර ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට නියමිතයි

1990 අගෝස්තු මස තුන් වනදා එල්ටීටීඊ ප්‍රහාරයකට ලක්වුනු මඩකලපුව කාත්තන්කුඩි මීරා ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දින වල සිදුවෙමින් පවතී.

රජය හා එල්ටීටීඊය අතර සටන් විරාම ගිවිසුම පලුදු වී තිබුන අවධියේ සිදුකරන ලද මෙම ප්‍රහාරයෙන් අසල්වැසි මස්තිදුල් හුසන්යා පල්ලියටද බරපතල හානි සිදුවූ අතර එහිදී මුස්ලිම් බැතිමතුන් 103 දෙනකු මිය ගියේය.

Image caption යාඥා ශාලාවේ තවමත් දක්නට තිබෙන වෙඩි හා බෝම්බ ප්‍රහාර වල සලකුණු මකා නොදමන්නට තීරණය කොට තිබේ

පල්ලියේ පිළිසකර කිරීමේ කටයුතු ප්‍රමාද වීමට ප්‍රධානම හේතුව මුදල් හිඟය බව සඳහන් කල මුස්ලිම් පල්ලිවල භාරකාර අරමුදලේ ලේකම් ඒ ජේ අනීස් අහමඩ්, මෙම කටයුතු සඳහා රුපියල් කෝටියක මුදලක් වෙන් කර ඇති බව පැවසුවේය.

ප්‍රතිසංස්කරණයේ දී, පල්ලියේ යාඥා ශාලාවේ තවමත් දක්නට තිබෙන වෙඩි හා බෝම්බ ප්‍රහාර වල සලකුණු මකා නොදමන්නට පල්ලියේ පරිපාලනය මෙන්ම බැතිමතුන් විසින්ද තීරණය කරනු ලැබ තිබේ.

මෙසේ තීරණය කරන්නට යෙදුනේ කුරිරු යුද්ධයේදී මුස්ලිම් ජනතාවට සිදුවී ඇති හානි පිලිබඳ ජනතාව දැනුවත් කිරීමටත්, සිංහල හා දෙමළ ජාතීන් ආණ්ඩුව සමග ඉදිරියේදී ගන්නා තීරණ වලදී, මුස්ලිම් ජනතාවටද සාධාරණයක් අවශ්‍ය බව ප්‍රත්‍යක්ෂ කිරීමට විනා ජාතීන් අතර සංහිඳියාවට බලපෑමක් ඇති කිරීමට නොවන බව අහමඩ් ප්‍රකාශ කළේය.

මේ වසරේ රාමසාන් උත්සවයට පෙර මෙම ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර