තමිල්නාඩුවේ වෙලින්ටන් හමුදා පීඨය අවට දැඩි රැකවල්

  • 2013 ජුනි 9

ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා නිලධාරීන්ට තමිල්නාඩුවේදී පුහුණුව ලබා දීමට එරෙහිව මහ ඇමැතිනිය ඇතුළු දමිළ පක්ෂ විරෝධය පෑම සමගින් ඉන්දියාවේ මුල් පෙළේ ආරක්ෂක පීඨයක් අවට රැකවල් තරකොට තිබේ.

නීලගිරි දිස්ත්‍රික්කයේ පිහිටි වෙලින්ටන් ආරක්ෂක විද්‍යා පීඨයේදී ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් දෙදෙනකුට පුහුණුව ලබා දීමට එරෙහිව ඉරිදා කුන්මූර් හා වෙලින්ටන් හි මහජන විරෝධතා පැවැත්වුනු අතර පොලිසිය පවසන්නේ එකසිය පනහකට ආසන්න උද්ඝෝෂකයන් පිරිසක් අත් අඩංගුවට ගන්නා ලද බවයි.

අගමැතිට ලිපියක්

Image caption ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා

අගමැති මන්මෝහන් සිං හට ඉරිදා යවන ලද ලිපියකින් විරෝධය පළකොට ඇති තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම්, සඳුදා පටන් පියසර කොමදෝරු බණ්ඩාර දිසානායක සහ මේජර් සී එස් හරිශ්චන්ද්‍ර හෙට්ටිආරච්චිගේ වෙලින්ටන්හි පුහුණුව ලැබීමට නියමිත බව පවසන්නීය.

පුහුණු වැඩපිළිවෙල ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා විසින් දෙන ලද සහතිකයක් පැහැර හැරීමක් බව මහ ඇමැතිනී ජයලලිතා ලියා තිබේ.

ජයලලිතාගේ විස්මය

ගිය මස අගදී තන්ජාවුර් හි නව ගුවන් හමුදා කඳවුරක් විවෘත කරමින් ආරක්ෂක ඇමැති ඒ කේ ඇන්ටනි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා සඳහා තමිල්නාඩුවේදී පුහුණුව ලබා නොදීමට ඉන්දීය රජය තීරණය කොට ඇති බවයි.

'තමිල්නාඩු ජනතාවගේ මතය සැලකිල්ලට ගනිමින්,' එම තීන්දුවට එළඹී බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්තිය ඔහුගේ අමාත්‍යංශය විසින් 'අවඥාවෙන් බැහැර කොට' ඇතැයි චෝදනා කරන මහ ඇමැතිනි ජයලලිතා ඒ ගැන විස්මය පළ කොට තිබේ.