'ව්‍යවස්ථාවම වෙනස් කරන්න' කතෝලික සභාව

  • 2013 ජුනි 11

රටේ සමස්ත ව්‍යවස්ථාවම මුලුමනින්ම වෙනස් කිරීම පිලිබඳ සිතා බැලීමට කාලය එළඹ ඇතැයි ශ්‍රී ලංකාවේ කතෝලික නායකත්වය පවසයි.

ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ සභාපති මැල්කම් රංජිත් කාදිනල් වරයාගේත් මහලේකම් වැලන්ස් මෙන්ඩිස් රදගුරු තුමන්ගේත් අත්සනින් නිකුත් කැරුණු නිවේදනයකින්, ව්‍යවස්ථා විවිධ සංශෝධන හා විධි විධාන ගෙන ඒම සඳහා ගන්නා වෑයම් හඳුන්වා තිබුනේ 'වරින් වර අමුණා ලීමක්' ලෙසින්.

එසේ හෙයින් කතෝලික රදගුරු මණ්ඩලය රජයෙන් ඉල්ලා තිබුනේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි යළිත් සංශෝධනය කිරීමේ ව්‍යායාමය අත්හැර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මුල්කොටගෙන නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අරමුණ 'සියලු පාර්ශව සමගින්' සාකච්ඡා කරන ලෙසයි.

නව ව්‍යවස්ථාව 'සියලු ජාතීන්ගේ සංකලනයෙන් හා සමාජ බලවේග වල සහයෙන් විවිධත්වය ගරු කරමින් එකට රොද බැඳෙන ජනතාවක් සේ සියලු දෙන හට සමානත්වයෙන්,' සලකන්නක් විය යුතු බවයි එහි සඳහන් කොට තිබුනේ.

'උතුරේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක්'

බලය බෙදා හැරීම නිසා සිදුවූ ගැටුම් පිලිබඳ උදාහරණ 'ඉතා සීමිත' බව පවසන කතෝලික සභා නායකත්වය පවසා ඇත්තේ එම ක්‍රමය 'රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් බහුතර ජන සහභාගිත්වයක්' ඇති කිරීමට ඉවහල් වී තිබෙන බවයි.

එසේ හෙයින් යෝජිත පරිද්දෙන් උතුරේ පළාත් සභා මැතිවරණය දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර පවත්වා පසුව නව ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමේ හැකියාව පිළිබඳව අධ්‍යයනය කරන ලෙස කතෝලික රදගුරු මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.

'උතුරේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් සේ සලකා දේශයේ සිංහල හා ද්‍රවිඩ දේශපාලන නායකයන් එයට අවංක පිළිතුරක් සපයා ගනු සඳහා ඒකරාශී වීම,' අවශ්‍යයෙන්ම විය යුත්තක් ලෙස කතෝලික රදගුරු මණ්ඩලය අවධාරණය කොට තිබේ.