රනිල් ජනපතිට ලියයි

දහ අටවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, උතුරට සිවිල් ආණ්ඩුකාරවරයකු පත් කරන ලෙසත්, උතුරේ මැතිවරණ නිරීක්‍ෂණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය නිරීක්‍ෂක කණ්ඩායමක් කැඳවන ලෙසත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගෙන් ඉල්ලා සිටියි.

විශේෂ සාකච්ඡාවක් සඳහා තම නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසකට අවසර දෙන ලෙස ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකින් ප්‍රධාන කරුණු හතරක් පිලිබඳ අවධානය යොමු කරවීම තම අදහස බවයි විපක්‍ෂ නායකයා ප්‍රකාශ කරන්නේ.

දහ අට වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, දහහත් වැනි සංශෝධනය යලි ක්‍රියාත්මක කරමින්, උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශයන්හි සඳහන් ආකාරයෙන් පොලිස් කොමිසම බලසතු කළ යුතු බවත්, වහාම ක්‍රියාත්මක වන පරිදි, වත්මන් ආණ්ඩුකාරවරයා පදවියෙන් ඉවත් කර, විශ්‍රාමික හමුදා නිලධාරියා වෙනුවට සිවිල් පුද්ගලයෙකු පත් කරන ලෙසත් විපක්‍ෂ නායක වරයා ඉල්ලා සිටියි.

"නාමයෝජනා දිනයේ සිට ප්‍රතිඵල ප්‍රකාශ කර සතියක් දක්වා සියළු මැතිවරණ කටයුතු නිරීක්ෂණය කරලීම උදෙසා පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්‍ෂකයන් කණ්ඩායමකට ආරාධනා කිරීම," යන්න උතුරේ මැතිවරණය පිළිබඳව සාකච්ඡාවක් සඳහා අවකාශ ඉල්ලමින් විපක්‍ෂ නායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් ප්‍රධාන ඉල්ලීම් අතර වෙයි.