නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන රිමාන්ඩ්

මොහමඩ් සියාම් නමැති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරාදැමීමේ චෝදනාව මත රඳවා ගෙන සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දින 90 ක කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගන්නා බව රහස් පොලීසිය විසින් ඉකුත් අඟහරුවාදා අධිකරණයට දන්වා තිබිණ.

එහෙත් රහස් පොලීසිය අද බ්‍රහස්පතින්දා අධිකරණයට දැනුම් දී සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබා ගත් රැඳවුම් නියෝගය අද දින අවසන් කරන බවයි.

සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දියවැඩියා රෝගය සහ රුධිර පීඩන තත්වයන් උත්සන්නවීම නිසා ඔහු අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බවයි පොලීසිය පැවසුවේ.

කෝටිපති ව්‍යාපාරික මොහමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව ඍජු සාක්ෂි අනාවරණය වී ඇති බව සඳහන් කළ රහස් පොලීසිය ඒ අනුව සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන මෙන්ද ඉල්ලා සිටියේය.

ඒ අනුව කොළඹ ජාතික රෝහලට ගිය මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කරන ලදී.