තාත්තලා නාඳුනන 'දරුවන් සිය ගණනක්' උතුරේ

Women in Sri Lanka
Image caption අවුරුදු දහසයට අඩු ළමයින් පවා පියවරුන් අහිමි වීමට මුහුණ පා සිටින බව කාන්තා සංවිධාන පවසයි

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය තුල පියා නිශ්චිත නොමැති බාල වයස්කාර දරුවන් හාරසියයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව කාන්තා සංවිධාන ප්‍රකාශ කරයි.

යුද ගැටුම් නිමාවීමෙන් පසු නිශ්චිත පියවරුන් නොමැතිව උපදින දරුවන් ගේ සංඛ්‍යාව වැඩිවී ඇතැයි පවසන කාන්තා සංවිධාන කියා සිටින්නේ යුද සමයේදී මෙවැනි ළමයින් ගේ සංඛ්‍යාව සියයකට අඩුව පැවැති බවයි.

යුද්ධයෙන් දෙමාපියන් අහිමිවීම නිසා උතුරේ තරුණියන් විශාල පිරිසක් හුදකලා වී සිටීමත්, ද්‍රවිඩ තරුණියන් වෙනුවෙන් විවාහයේදී ලබා දියයුතු දෑවැද්ද වෙනුවෙන් මුදල් නොමැති නිසා තරුණියන් දෙමාපිය අකමැත්තෙන් ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමත්, පියවරුන් නාඳුනන දරුවන් වැඩිවීමට හේතුවී ඇති බවයි යාපනයේ සහ මන්නාරමේ කාන්තා සංවිධාන කිහිපයක් පවසන්නේ.

'විශේෂ තත්වයක් නොවේ'

දරුවන් මුහුණ පා සිටින පියවරුන් පිලිබඳ ගැටලුව උතුරේ කාන්තා සංවිධාන විසින් ප්‍රකාශයට පත් වුනේ කාන්තා සංවිධාන එකමුතුව විසින් වවුනියාව නගරයේ පැවැත්වූ වැඩ මුලුවකදී.

මේ උතුරට හෝ ශ්‍රී ලංකාවට පමණක් විශේෂිත තත්වයක් නොවන පොදු තත්වයක් ලෙසයි ළමා ආරක්ෂණ අධිකාරිය නිශ්චිත පියවරුන් නොමැතිව උපදින දරුවන් ගේ සංඛ්‍යාව වැඩිවීම ගැන බීබීසී සංදේශය කළ විමසීමකදී පැවසුවේ.

ඇමරිකාව, එංගලන්තය ආදී දියුණු රටවලත් සෝමාලියාව හෝ එවැනි තවමත් දියුණුවට පත් නොවූ රටවලත් දරුවන් එවැනි ගැටලුවකට මුහුණ පා සිටින බව ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක පවසයි.

අධිකාරියේ සභාපතිනිය පවසන ආකාරයට ළමාරක්ෂණ අධිකාරියට මැදිහත් විය හැක්කේ වයස අවුරුදු අටට අඩු දරුවන් හා සම්බන්ධ කාරණා වලදී පමණයි.

එසේ වුවත් උතුරේ කාන්තා සංවිධාන පවසන්නේ වයස අවුරුදු දහසයට අඩු ළමයින් පවා මෙලෙස පියවරුන් අහිමි වීමට මුහුණ පා සිටින බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර