ජනාධිපතිතුමා අන්තවාදීන්ගේ සිරකාරයෙක් - එජාප

UNP leaders in a press conference
Image caption රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයාගත නොහැකිව, ආණ්ඩුව "බිල්ලෙක්" මවා පාමින් සිටින බව එජාපය පවසයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ වර්තමානයේ අන්තවාදීන්ගේ සිරකරුවකු බවට පත් වී ශ්‍රී ලංකාව අතීතයට ඇද ගෙන යාමට උත්සාහ කරන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

එජාප පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් එම චෝදනාව කළේ, පළාත් සභා ක්‍රමයට විරුද්ධව ආණ්ඩුවේම හවුල්කාර පක්ෂ දෙකක් විසින් ගෙන යනු ලබමින් තිබෙන ව්‍යාපාරය පිළිබඳව අදහස් දක්වමින්.

"නැවත වතාවක් අපිව අතීතයට ගෙනියන්න එපා. නැවත වතාවක් අපිව ම්ලේච්ඡත්වයට ගෙනියන්න එපා," ඔහු පැවසීය.

පළාත් සභා බිහි කිරීමට මග පෑදුනු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන මෙන් ඉල්ලමින් විමල් වීරවංශ සහ චම්පික රණවක අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගෙන යමින් තිබෙන ප්‍රචාරක ව්‍යාපාරය දැඩි විවේචනයට ලක් කළ ඔහු ප්‍රකාශ කරන්නේ, පළාත් දෙකක් ඒකාබද්ධ කිරීමේ බලයක් වර්තමානයේ පළාත් සභාවලට හිමි වී නැති බවයි.

බණ්ඩාරනායක ප්‍රතිපත්ති

පළාත් සභාවලට එරෙහිව මේ මොහොතේ මතුවී තිබෙන ආන්දෝලනය, රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයාගත නොහැකිව, ආණ්ඩුව විසින් මවා පෙන්වනු ලබමින් සිටින "බිල්ලෙක්" බව පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ විග්‍රහයයි.

බලය බෙදීම සහ පළාත් සභා ක්‍රමය පිලිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි ප්‍රසිද්ධියේ හෙළි කරන මෙන් ඔහු පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.

"එතකොට මේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට විරුද්ධව ද යන්නේ? එදා බණ්ඩාරනායක මහත්තයාගේ ජීවිතේ නැති කළෙත් මෙන්න මේ බලවේග. අද ඒ බලවේග මේ ආණ්ඩුව ඇතුලෙත් හොල්මන් කරනවා," ඔහු පැවසීය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා, පසුගියදා දකුණේ හටගත් කුණාටුව හමුවේ ධීවර ජනතාවගේ ජීවිත අහිමිවීම සම්බන්ධයෙන් සිය වගකීම් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට ආණ්ඩුවට චෝදනා කළේය.

එම ඛේදවාචකයෙන් අනතුරුව හෝ අනතුරට ලක් වූ ධීවරයන්ගේ පවුල්වලට ප්‍රමාණවත් සහන සලසන මෙන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර