පුද්ගල ප්‍රවාහනය තුරන් කිරීමේ අවම අවධානයවත් ශ්‍රී ලංකාවේ නෑ - ඇමරිකාව

නීති විරෝධී පුද්ගල ප්‍රවාහනය තුරන් කිරීමට යොමු විය යුතු අවම අවධානයවත්, ශ්‍රී ලංකා රජය විසින් යොමු කර නැතැයි පුද්ගල ප්‍රවාහනය පිලිබඳ අමෙරිකානු ආයතනය, සිය වාර්තාවකින් පෙන්වා දෙයි.

ගැහැණු, පිරිමි මෙන්ම වයස අවුරුදු දාසයේ, දාහතේ ළමයින්ද රටෙන් පිටත දී හා ඇතුලත දී මෙසේ නීති විරෝධී ප්‍රවාහනට ලක් වෙන බව එහි සඳහන් වේ.

රටෙන් පිටත

මැද පෙරදිග මෙන්ම ඉරාකය, ඇෆ්ගනිස්තානය මැලේසියාව සහ සිංගප්පුරුවට ගෘහ සේවය මෙන්ම ඇඟලුම් හා ඉදිකිරීම් කර්මාන්තවල සේවය සඳහා යයි කියමින් බඳවාගන්නන්, පසුව එම රටවලදී බලහත්කාර ලෙස සේවයට යොමු කෙරන බව එම වාර්තාවෙන් පැවසේ.

මෙහිදී විවිධ ශාරීරික හා ලිංගික වද හිංසා වලට ලක් වන ඔවුන්ගේ ගමන් බලපත්‍ර ද ඇතැම්විට රඳවා ගැනෙන අතර, වේතන නිසි පරිදි නොලැබීමෙන් ඔවුන් දැඩි අපහසුතා වලට ලක්වේ.

ශ්‍රී ලංකා කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදා ගැනීම ජෝර්දානය, සිංගප්පුරුව, මාලදිවයින මෙන්ම වෙනත් රටවල දී ද සිදුවන බවට වාර්තා වෙයි.

මෙසේ අතවර වලට ලක්වන්නන් බොහෝ දෙනෙකු විදේශ ගත වන්නේ, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි විදේශ සේවා ආයතන හරහා බව එම වාර්තාවේ සඳහන්.

රට ඇතුලත

Image caption පුද්ගල ප්‍රවාහන ජාවාරම්කරුවන්ගෙන් බේරාගත් බංග්ලාදේශ කාන්තාවන් පිරිසක්

කාන්තාවන් සහ ළමුන් නිති වීරෝධි ලෙස ගණිකා නිවාස වල සේවයේ යොදා ගැනෙන අතර වෙරළ ආසන්න ප්‍රදේශ වල පිරිමි ළමයින් යොදා ගනිමින්, සංචාරකයන් වෙනුවෙන් නිතිවීරෝධි ලිංගික කටයුතු සිදු කෙරෙන බව ද එම වාර්තාව තව දුරටත් පෙන්වා දෙයි.

විවිධ ශාරීරික අක්‍රමිකතා ඇති අසරණ ළමයින් මෙන්ම වැඩිහිටියන් යාචකයන් ලෙස මුදල් සෙවීම සඳහා නීතියට පටහැනිව යොදවා ගැනෙන බවත්, එසේම කොළඹ වැනි ප්‍රධාන නගර වල ගෘහ සේවයේදීත්, වියලි කලාපයේ ගොවිතැන් කටයුතු වලදීත්, ධිවර කර්මාන්තයේත් ළමා ශ්‍රමය නීති විරෝධී ලෙස යොදා ගන්නා බවත් පුද්ගල ප්‍රවාහනය පිලිබඳ අමෙරිකානු ආයතනය විසින් සඳහන් කර තිබේ.

අභ්‍යන්තර වශයෙන් අවතැන්වුවන් හා යුද්ධයේ වැන්දඹුවන්, විශේෂයෙන්ම නීති විරෝධී පුද්ගල ප්‍රවාහනයට ඉලක්ක වන බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.

නීති විරෝධී පුද්ගල ප්‍රවාහනය අඩු කරන්නට ශ්‍රී ලංකා රජය විසින් ගන්නා උත්සාහය මඳ බවත්, විශේෂයෙන්ම වැරදිකරුවන් සඳහා නීති ක්‍රියාත්මක කිරීමේ උත්සාහය හා අනතුරට පත්වූවන්ට ආරක්ෂාව සැලැසිම අතින් ශ්‍රී ලංකා රජය ඉතා දුර්වල බවත් එහි සදහන් වේ.