ප්‍රංශයෙන් ප්‍රගීත් ගෙන්නා දෙන්න - බිරිඳ කතානායකගෙන් ඉල්ලයි

Prageeth (L) & wife Sandya
Image caption "මේ යුතුකම ඉටු කරන්නේ නම් එය මතු සසර නිවනට හේතු වන බව මත් සිතින් සිහිපත් කරමි"

ප්‍රංශ ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට සිය සැමියා ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන්නැයි 2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියි.

පසුගිය ජුනි 05 වැනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ පාලක සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේදී තමාට හමුවුන බව කියා සිටියේය.

ඉන් අනතුරුව ජුනි 07 වැනි දින පාර්ලිමේන්තුවේදී යලිත් ප්‍රකාශයක් කළ ඔහු, ප්‍රංශයේදී තමන්ට ප්‍රගීත් හඳුන්වා දුන්නේ රටින් බැහැරව සිටින මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන බව ද පැවසීය.

එහෙත් එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළ මංජුල වෙඩිවර්ධන බීබීසී සංදේශයට කියා සිටියේ, ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය "අමූලික බොරුවක්" බවයි. 2007 වර්ෂයෙන් අනතුරුව තමන්ට අරුන්දික ප්‍රනාන්දු මුණ ගැසී නැති බවද ඔහු පැවසීය.

පුතුන්ට 'මානසික වදයක්'

කෙසේ නමුත් එදිනම නිවුස්ෆර්ස්ට් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීද යලිත් වරක් එම ප්‍රකාශයම කළ මන්ත්‍රීවරයා, ප්‍රගීත් දිනපතාම පාහේ ප්‍රංශයේ සිට සිය බිරිඳ සන්ධ්‍යාට දුරකථනයෙන් අමතන බව ද කියා සිටියේය.

මන්ත්‍රීවරයාගේ ඉහත කී ප්‍රකාශ "කණගාටුවෙන් යුතුව බැහැර කරන" බව කතානායක චමල් රාජපක්ෂ වෙත යොමු කරන සිය ලිපියේ සඳහන් කරන සන්ධ්‍යා එක්නැලිගොඩ, තමන්ට ප්‍රගීත් ගේ හඬ අවසන් වරට ඇසුනේ 2010 ජනවාරි 24 වැනි දින බව අවධාරණය කරන්නීය.

2011 නොවැම්බරයේදී එක්සත් ජාතීන් හමුවේ ජිනීවා නුවරදී ප්‍රකාශයක් කළ එවකට නීතිපති මොහාන් පීරිස් ද, ප්‍රගීත් එක්නැලිගොඩ විදේශයක රැකවරණ පතා සිටින බව පැවසීය.

"අරුන්දික මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මොහාන් පීරිස් මහතාගේ ප්‍රකාශය මෙන් අසත්‍ය ප්‍රකාශයක් නම්, එය පියා අහිමි වීමෙන් මානසික දුක් පීඩා මද අපොස උසස් පෙළ සහ සාපෙළ විභාගයට පෙනී සිටින්නට අපේක්ෂාවෙන් සිටින අපගේ දරුවන් නැවත, නැවත මානසික වදයකට පත් කිරීමකි," යනුවෙන් සන්ධ්‍යා සිය ලිපියේ සඳහන් කරන්නීය.

මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සත්‍යයක් නම්, ප්‍රංශ ආණ්ඩුවේ හෝ "ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව" සිය සැමියා යලි සිය රට ගෙන්වා දෙන මෙන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින ඇය, ඔහුගේ අතුරුදහන්වීම පිළිබඳව දැනට අධිකරණයේ නඩුවක් විභාග වන බැවින්, අධිකරණයේ ඉදිරියේ සාක්ෂි දීම පිණිස මන්ත්‍රීවරයා යොමු කරන මෙන් ද ඉල්ලීමක් කරන්නීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර