බලතල අඩු කිරීමට දෙමළ ජනතාව විරුද්ධයි - දයා මාස්ටර්

Daya Master
Image caption පළාත් සභාවට තරඟ වදින මෙන් තමන්ට ආරාධනා කළේ ආණ්ඩුවේ බලධාරීන් බව දයා මාස්ටර් පවසයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ තුන් වැනි සංශෝධනයෙන් විමධ්‍යගත කොට තිබෙන බලතල අඩු කිරීමට දැරෙන ප්‍රයත්නයට දෙමළ ජනතාවගේ දැඩි විරෝධය පළ වෙමින් තිබෙන බව එල්ටීටීඊ යේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් උතුරු පළාත් සභාව සඳහා තරඟ වැදීම පිණිස සෙනසුරාදා සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාවේ තමන් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ට දැනුම් දුන් බවයි, වේලායුදම් දයානිධි හෙවත් දයා මාස්ටර් පවසන්නේ.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

'සිංහල අන්තවාදී පක්ෂ'

පළාත් සභා අහෝසි කළ යුතු බවට ආණ්ඩුවේ පාර්ශ්වකාර ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ගෙන යන උද්ඝෝෂණ ව්‍යාපාරය පිලිබඳ ඔහුගේ මතය කවරක්ද යන්න දයා මාස්ටර්ට යොමු කෙරුණු තවත් ප්‍රශ්නයක්.

දෙමළ ජනතාවට විරුද්ධව ගෙනයමින් තිබෙන "දැඩි ජාතිවාදී ව්‍යාපාරය" එම පක්ෂ වහාම නතර කළ යුතු බවයි, ඔහු කියා සිටියේ.

ඒ වෙනුවට දෙමළ ජනතාව සමඟ එකමුතුව ක්‍රියා කිරීමට "සිංහල අන්තවාදී පක්ෂ" උත්සාහ කළ යුතු බවද කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය.

උතුරු පළාත් සභාව සඳහා තරඟ වැදීම පිණිස අයදුම්පත් කැඳවමින් ආණ්ඩුව පුවත්පත්වල දැන්වීම් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබූ අතර, අපේක්ෂකත්වය බලාපොරොත්තු වන විසි දෙනකු සෙනසුරාදා සම්මුඛ සාකච්ඡාවට සහභාගි වී සිටි බව දයා මාස්ටර් කියා සිටියේය.

සම්මුඛ සාකච්ඡාව සඳහා තමන්ට ආරාධනා කළේ ආණ්ඩුවේ බලධාරීන් බවයි ඔහු පවසන්නේ.

එහිදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට ලබා දිය යුතු විසඳුම් පිලිබඳ සිය ස්ථාවරය හෙළි කළ බවත්, විශේෂයෙන්ම යුද්ධයෙන් අවතැන් වූ සියලු දෙනා වහාම යලි පදිංචි කිරීමේ අවශ්‍යතාවයත්, ඉඩම් අහිමි වූ ජනතාවට ඉඩම් ලබාදීමේ අවශ්‍යතාවයත් තමා අවධාරණය කළ බව ද දයා මාස්ටර් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර