පළාත් සභා ක්‍රමය වෙනස් කිරීමට ඉඩ දෙන්නේ නෑ - ඇමතිවරු

Ministers in press conference
Image caption ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණේ මෙම විරෝධය ඔවුන්ට උතුරු නැගෙනහිර පලාත්වල මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි නිසා බව ඇමතිවරු පවසති

දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පළාත් සභා ක්‍රමය වෙනස් කිරීමට ඉඩ නොතබන බව කැබිනට් අමාත්‍යවරු පිරිසක් අවධාරණය කරති.

පළාත් සභා ක්‍රමය සංශෝධනය කෙරෙන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබා නොදෙන බව අමාත්‍යවරුන් පිරිසක් සහභාගි වූ මාධ්‍ය හමුවක් අමතමින් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේය.

“පළාත් සභා සහිත ඒකීය රාජ්‍යයක් මගින් ලාංකේය එක්සත්කම ඇති කරමු” මැයෙන් ලංකා සම සමාජ පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණු මාධ්‍ය හමුවට වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, රෙජිනෝල්ඩ් කුරේ, ඩිව් ගුණසේකර, චන්ද්‍රසිරි ගජධීර යන කැබිනට් ඇමතිවරුන් මෙන්ම වාමාංශික දේශපාලන පක්ෂවල නායකයෝද සහභාගි වී සිටියහ.

මරණ තර්ජන

ඉන්දු-ලංකා ගිවිසුමෙන් අනතුරුව පිහිටුවන ලද පළාත් සභා අහෝසි කළ යුතු බවට ආණ්ඩුවේ පාර්ශ්වකාර ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා සිටියි.

පළාත් සභා පිහිටුවීමට මූලික වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ තුන් වෙනි සංශෝධනය, හදිසි ක්‍රියාවක් නොවන බව පැවසූ අමාත්‍යවරයා, එය "ඉතිහාසය පුරා සුළු ජාතීන් සහ සුළු ජාතීන්ගේ අයිතිය පිළිගන්නා වූ මහ ජාතියේ අය" එකතු වී කරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලයක් බව පැවසීය.

"මේක උත්තරීතරම විසඳුම නෙවෙයි. නමුත් අපි ඉල්ලන්නේ මේක නොවේ නම් මීට වඩා ඒ හා සමාන විසඳුමක් දෙන්න, මේ අන්තවාදීන් කිසි දවසක එහෙම විසඳුමක් දෙන්නේ නෑ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

මුලින්ම පළාත් සභා හඳුන්වා දුන් අවස්ථාවේ එයට සහාය දුන් තමන් ඇතුළු විශාල පිරිසකට ජනතා විමුක්ති පෙරමුණෙන් මරණ තර්ජන එල්ල වූ බව පැවසූ අමාත්‍ය සේනාරත්න, කෙසේ නමුත් ඒ අවස්ථාවේ පවා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පළාත් සභාවලට ඡන්දය දීම විග්‍රහ කළේ ඒ සඳහා පැවති "හොඳම ජනමත විචාරණය" ලෙසින්.

'ඡන්දය ඉල්ලන්න බෑ'

එබැවින් වසර 25 කට පසුව පළාත් සභා සම්බන්ධයෙන් යලිත් වරක් ජනමත විචාරණයක් ඉල්ලීම "හාස්‍යජනක" බව අමාත්‍ය සේනාරත්නගේ අදහසයි.

"ජාතිවාදයත් එක්ක ගියාම කෙළවරක් නෑ. අන්තවාදය එක්ක ගියාම කෙළවරක් නෑ," යනුවෙන්ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර දහස් දැක්වූ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කියා සිටියේ, ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ මෙම විරෝධය ඉදිරිපත් කරන්නේ ඔවුන්ට පැහැදිලිවම උතුරු නැගෙනහිර පලාත්වල මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි නිසා බවයි.

"හේතුව, ඔවුන්ගේ දර්ශනය සිංහලවාදී දර්ශනයක්," බවයි අමාත්‍ය නානායක්කාර පවසන්නේ.