නිවුමාන් පදනමේ නියෝජිතවරියට විදේශගත වීමට අවසර

Sagarika Delgoda
Image caption සාගරිකා දෙල්ගොඩ තවමත් සැකකාරියක ලෙසින් නම් කොට නොමැති බව පොලීසිය පවසයි

ෆ්‍රෙඩ්රික් නිවුමාන් පදනමේ නේවාසික නියෝජිතවරිය විදේශගත වීම වලක්වා ලමින් රහස් පොලීසිය පනවා තිබූ තහනම් නියෝගයක් ඉවත් කරන මෙන් අධිකරණය නියෝග කළේය.

කෙසේ නමුත් විදේශගත වීමේදී සාගරිකා දෙල්ගොඩ රුපියල් ලක්ෂ පනහක බැඳුම්කරයක් තැන්පත් කල යුතු බව ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සාගරිකා දෙල්ගොඩ පසුගිය ජුනි 23 වැනි දින විදේශගත වීම පිණිස කටුනායක ගුවන් තොටුපොළට ගිය අවස්ථාවේ රහස් පොලිස් නිලධාරීන් එය වලක්වන ලද බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු අධිකරණය හමුවේ කියා සිටියහ.

ජනපති පුත් නාමල්

පොලිස් නිලධාරීන් ඇය විදේශගත වීම වැළැක්වූයේ අධිකරණ නියෝගයකින් පවා තොරව බවයි, ඔවුන් කියා සිටියේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා කළ විමසීමකට පිළිතුරු දුන් රහස් පොලිස් නිලධාරීන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ෆ්‍රෙඩ්රික් නිවුමාන් පදනමට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙන බව කියා සිටියේය.

ඇය කිසියම් ලෙසකින් රටින් පලා ගියේ නම් එය පරීක්ෂණයට බාධාවක් විය හැකිව තිබූ බව ද පොලිස් නිලධාරීහු පැවසූහ.

කෙසේ නමුත් සාගරිකා දෙල්ගොඩ තවමත් අදාළ පරීක්ෂණයේ සැකකාරියක ලෙසින් නම් කොට නොමැති බව ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

විපක්ෂ මන්ත්‍රීවරුන් සහභාගි වූ වැඩමුළුවකින් අනතුරුව ෆ්‍රෙඩ්රික් නිවුමාන් පදනමට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙන නමුත් ජනපති පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවා එම පදනමේ රැස්වීම්වලට සහභාගි වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පසුගියදා බීබීසී සංදේශයට පැවසීය.

"මීට පෙර ජී එල් පීරිස්, මහින්ද සමරසිංහ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගෙනාවා කොන්ෆරන්ස් එකකට. ඒ වගේ නිරන්තරයෙන් ගොඩක් කට්ටිය ගෙන්නුවා," බවද මන්ත්‍රීවරයා පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර