පොහොර හිඟය හේතුවෙන් ගොවීන්ට දුෂ්කරතා

රට පුරා පවතින පොහොර හිඟයක් හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දී සිටින බව වාර්තාකරුවෝ පවසති.

පොලොනරුවේ ගොවීන් අද බ්‍රහස්පතින්දා උද්ඝෝෂණයක් කරමින් කියා සිටියේ තමන්ට කලට කන්නයට වගා කිරීමට පොහොර නොලැබෙන බවයි.

සහනාධාර ක්‍රමය යටතේ ලැබෙන පොහොර ප්‍රමාණය දිගින් දිගටම අඩු කිරීම අසාධාරණ බවත් පස සරු කර ගැනීමට දීමනාවක් ලබා දීම වඩාත් යෝග්‍ය බවත් පොලොනරුවේ ප්‍රගතිශීලී ගොවි ජන එකතුවේ ආර්.ජී.රත්නතිලක සංදේශයට පැවසුවේය.

මේ කන්නයේ වගා කටයුතු පිළිබඳව විමසීමක් කළ විට රත්නතිලක ගොවි මහතා පැවසුවේ පෙර දුන් පොහොර සහනාධාරය සියයට පනහකින් කපා දැමීම මෙවර ගොවීන් මුහුණ පාන විශාල ගැටලුවක් බවයි.

කලින් අක්කරයකට යුරියා කිලෝ 130 ක් ලබා දුන්නත් දැන් ලබා දෙන්නේ කිලෝ 70 වක් පමණක් බවයි ඔහු පැවසුවේ.

පොහොර ලබා දීම අයින් කළ යුතු බව තමන් ද පිළිගන්නා බව පැවසූ රත්නතිලක ගොවි මහතා ඒ වෙනුවට කාබනික කෘෂි රසායනික සහ කාබනික පොහොර ලබා දීමට රජය පියවර ගත යුතු බවත් ප්‍රකාශ කළේය.

පසට හානි

පොහොර හිඟයක් පවතින බව සත්‍ය බවත් , පසට වන හානිකර තත්වයෙන් වළක්වා ගැනීමට විශේෂඥ උපදෙස් මත සහනාධාර ක්‍රමය යටතේ ලැබෙන පොහොර ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කල බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය.

කාබනික පොහොර භාවිත කිරීමට ගොවීන් උනන්දු කිරීමට උත්සාහ කලත් ගොවීන් ඒ ගැන ප්‍රමාණවත් ලෙසින් උනන්දු නොවන බවයි ඇමති වරයා කියා සිටින්නේ.