උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතුයි - දෙජාස

MA Sumanthiran, MP
Image caption දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ මූලික පදනමක් බව දෙජාස පවසයි

උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කරමින් පළාත්වලට බලය විමධ්‍යගත කිරීම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණයට විසඳුම් සෙවීමේ මූලික පදනම විය යුතු බව දෙමළ ජාතික සන්ධානය (දෙජාස) පවසයි.

දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් ඒ බව කියා සිටියේ, උතුරු පළාත් සභා මැතිවරණයෙන් ජයගෙන පළාත් සභා හරහා ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට සැරසෙන බවට ආණ්ඩුවේ පාර්ශවකාර ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ සිය පක්ෂයට කරන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්.

"උතුරු නැගෙනහිර ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමයි 13 වැනි සංශෝධනය ගෙනාවේ. ඒ ආකාරයට තමයි ඒකාබද්ධ කරන්න ඕනේ. ඒකට නැගෙනහිර පළාතේ ජීවත්වෙන අයත් ඒගොල්ලන්ගේ කැමැත්ත පළ කරන්න ඕනේ," බවයි මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ අභිප්‍රායයක් සිය පක්ෂයට නොමැති බව අවධාරණය කරන මන්ත්‍රීවරයා, එක්සත් රාජ්‍යයක් තුල බලය බෙදා ගනිමින් සමගිව ජීවත්වීම සිය පක්ෂයේ උත්සාහය බව ද සඳහන් කළේය.

'ආණ්ඩුව කැමති නෑ'

වසර 25 ක් මුළුල්ලේ පළාත් සභා ක්‍රියාත්මක වූ රටක උතුරු පළාත් සභා මැතිවරණය මුව විටේදී පළාත් සභාවලට එරෙහිව එක්වරම උද්ඝෝෂණයක් මතුවීම පිළිබඳව ඔහු විමතිය පළ කළේය.

"මේකෙන් හෙලිවෙන්නේ ආණ්ඩුව දෙමළ ජනතාවට බලය බෙදීමට අකමැතියි කියන එක," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

2011 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා ආණ්ඩුව සමඟ 18 වතාවක් තම පක්ෂය සාකච්ඡා පැවැත් වූ බව පවසන සුමන්දිරන් මන්ත්‍රීවරයා, එම සාකච්ඡාවේ එකඟතාවයන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන බවට දුන් පොරොන්දුව කඩ කළේ තම පක්ෂය නොව ආණ්ඩුව බව ද අවධාරණය කරයි.

එම පොරොන්දුව ඉටු කළේ නම්, තේරීම් කාරක සභාවට සහභාගි වීමට පවා සිය පක්ෂය සූදානමින් සිටි බව ද මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේය.

"අපිට විතරක් නෙවෙයි, ඉන්දියාවට, ජාත්‍යන්තර ප්‍රජාවට දීපු පොරොන්දු සේරම කඩ කරලා ආණ්ඩුව දැන් දහ තුන් වැනි සංශෝධනයත් අයින් කරගන්න යන්නේ," ඔහු පැවසීය.

මේ තත්වය යටතේ ජාතික ප්‍රශනය විසඳීම සම්බන්ධ තේරීම් කාරක සභාවට සහභාගි නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට තිබේ.

දකුණු අප්‍රිකාවේ මැදිහත්වීමෙන් ආණ්ඩුව සහ දෙජාස අතර සංවාදයක් ඇති කිරීමේ උත්සාහය පිළිබඳව විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කිරීමට තම පක්ෂය "හැම අවස්ථාවේම" සූදානම් බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර